පලාතම එලිය කරන් මහ සද්දෙට වඳින අකුණු එක්ක,
ටොක් ටොක් ගාලා වැහි බින්දු එක පොදියට ටකරන් වහලෙට කඩන් වැටෙද්දි මම හිටියේ නිදි නැති මහ පාන්දරේ චූටි කුකූව තුරුල් කරන්..පැල් කොටේ අඳුර මකන්න කියලා තිබ්බ කුප්පි ලාම්පුවත් හුලඟ නිසාම නිවිලා යද්දි ඝන අඳුරේ මගේ හිතට දැනුනේ ලොකු බයක්..
ඒ බය අඳුර නිසාම ඇති වුන බයක් නෙවෙයි කියන්න මගේ හිත හොදාකාරවම දන්නවා වුනත් මම තාමත් හිතුවේ මම බය වෙන්නේ අහේතුකව කියලා..
අයියාගෙන් සිහියක් පතක් නැති වෙන්නම ගුටිකාපු මම අවදිවුනේ එයාගේ තුරුලෙන් වුනත් ඊට පස්සේ සිද්ද වුනේ මම කීයටවත් නොහිතපු දෙයක්..!
සිහිය ආපු මාව හොඳින් බව දැනගත්තු ගමන් සහන් කරේ මාව නොදන්න මනුස්සයෙක් වගේ තනිකරලා ගියපු එක වෙද්දි,
ගුටිකාලා ඇඟට දැනුන වේදනාවන්ට වඩා සිය දහස් ගනනක වේදනාවක් මගේ පපුවට දැනුනා..යන්න යද්දි මම අත අල්ලන් ' සහන් ' කියද්දිම,
'අපි පස්සේ කතා කරමු අදීර' කියලා මූනත් නොබලා ඒකා යන්න යද්දි සත්තයි මගේ පපුව පැලෙන්න ආවා..දවල් මඬුවෙදි මම කොලඹ යනවා කියපු ටිකට මන් වෙනුවෙන් කඳුළු හලපු සහන්,
මේ වෙද්දි මගේ මූනවත් නොබලා යන්න තරම් වෙනස් වුනේ කොහොමද කියලා මට හිතාගන්න බෑ..සමහරවිට,
සහන් ආදරේ කරපු එකම කෙල්ලව සහන්ගෙන් උඳුරගත්තු ඒ තිරිසනාගේ මල්ලි මම නිසා එහෙම කරන්නත් ඇති..එහෙමත් නැත්නම්,
මේ දේවල් සහන්ට නොකියා රහසක් කරගත්ත තරහ සහන්ට ඇති..
මොකද ඒකා හිතුවේ මගේ පවුල කොලඹ කියලා.. ඒකා හිතුවේ මගේ අම්මා අප්පා නෑ කියලා.. ඒකා හිතුවේ මම අනාථයා කියලා..ඒකේ බොරුවක් නෑ.. මම අම්මා අප්පා නැති අනාථයා තමා.. ඒත්,
සහන්ට අනුව මම කරේ බොරුවක් කියලා ඒකට හිතෙන්න ඉඩකඩ වැඩී..ඊටත් සහන්ගේ ආතා පවා කීපවරක්ම 'ෆැක්ටරියේ එවුන්' කිය කිය බැන්නෙත් මට නම නොදුන්න අප්පට වෙද්දි,
සහන්ගේ හිතේ මන් ගැනත් දැන් අහිතක් හිතෙන්න ඇති..බැරි වෙලාවත් ඒකා මා එක්ක තියෙන ඇයි හොඳැයිය නවතාවිද!?
ආදරෙයි කියන්නත් කලින් ඒ ආදරේ ආයුශ නැති වේවිද?
ජීවිතේ දැකපු පලවෙනි හීනෙම ඇස් පනාපිට නැත්තටම නැති වෙලා යාවිද?