කාලෙකට පස්සෙ හිතට දැනුනු මහා අමුතු සනීපයක්.කින්හෙ වල අඳුරු පරිසරයටත් වැහිබර කාලගුණයටත් හැමදාමත් මම ඇලුම් කරා.
ගුසු වල ඔසුපැන් මුලු ගතම නිවනවා.
කසාවන් ලැන්ලින් ආයිත්තම් වලින් කාමරේ ලස්සන වෙලා.
කාමරේට ඉර එලිය ගලන විසල් ජනෙල් දොරටුවට ඉස්සරහින් යායට වතු පියොනි මල් පිපිලා.
අවන්පත් එකතුවට පසෙකින් තියෙන සකුරා බොන්සායි ගහ ටිකෙන් ටික පතන කාලයට ලං වෙනගමන් ඉන්නෙ.
ඇත්දල පැහැ කින්සුගි ඉකෙබානා පෝච්චියට ඉදිරියෙන් තියෙන ගුකිනය ස්වයං වැයුමටක යොමුකරන අතරෙ,
කාල-ධූසර-නීල හුය අතරින් වියුණු රන් ගෙත්තම් වලින් හැඩ වුණු කබාය පෙරෝගෙන මගේ පුංචි තේ පැන් මේසය ළඟින් වාඩි උනේ ඔසු පැන් ස්වල්පයකින් ගත උණුසුම් කරගන්න හිතන්.
අද කාමරේ සුවඳ උඳුන් වල සුවඳ දුම් කුඩු මාරු කරලා. නාස්පුඩු වලට හරිම සමීප සුවඳක්.නෙළුම්...
සකුරා, පියොනි වලට පස්සෙ මන් ආසම මල නෙළුම්.
දියේ කප් රුක කියන නම කිව්වත් වරදක් නෑ. නෙලුම් අලේ ඉදන් මලට යනකන්ම හැම කොටසක්ම එක හා සමානව වටිනවා.ම්ම්ම්...
සුවඳයි.
මන් ආසම විදිහට පිලියෙල වුණු රෝස තේ පැන් ටිකක් තොල ගානවා කියන්නෙ මේ කාලගුණයත් එක්ක ලබා ගන්න පුලුවන් නියම අත්දැකීමක්.මොකද්ද මගෙ කතාව.
ආ........ නෙළුම්.ඇයි මට නෙලුම් වටින්නෙ.
උසස් කුල සම්ප්රදායන් වලින් පැවතීගෙන එන නිකායන් තුනකින් උරුම වුණු ධ්යානය එහෙමත් නැත්තං රන් හරය,
මම ඒ ධ්යානයේ විකසිත වීම දකින්නෙ නෙළුමක් තුලින්.
සියලූම මඩ ගොහුරු, බොර අපිරිසිදු දිය පසාරු කරගෙන ඉහලට නැගෙන්නෙ බාගෙට පිපුණු පොහොට්ටුවක්.
මම කොච්චර උසස් නිකායන් තුනකට අයත් උනත් මම ගැටෙන්නෙ මුළුමුනින්ම රාගයන්, ද්වේෂන්, මෝහයන් යන කෙලෙස් වලින් කිලිටි වුණු සමාජයක් මැදින්.
මම වැඩුනේ ආවුද ගොඩක් සටන් හඬවල් ගොඩක් මැද.
මේ වෙනකොට මට මගේ රන් හරය ලැබිලා ඉවරයි වගේම යම් මට්ටමකට දියුණුයි.
හරියටම කිව්වොත් අර බාගෙට පිපුණු නෙළුම වගේ.
මගේ මානයට අනුව නම් ආත්මයක අග්රඵලය නිර්වාණය.
රන් හරයේ පරිපූර්ණත්වයේ අවසානය.
සම්පූර්ණයෙන්ම පිපුණු නෙළුම.හ්ම්ම්ම්....
තේ පැන් උගුරෙන් පහලට යනකොට දිවේ මූලයට දැනෙන අමුතු තිත්ත රහ මිශ්ර පැණිරස මේ සීත දේශගුණයට කදිමයි.කෙසේ වුවත් කවුරුහරි මට කිව්වොත් නෙලුමත් පිපිල පරවෙනවාය කියල මම ඒක පිලිගන්න කැමති නෑ.
නෙලුමක අවසානය තවත් ආරම්භයක්.
පරම්පරා ගණනාවක පෝෂණයක්.
ඒ අවසානයේ අග්රඵලය තවත් ශතවර්ෂ ගණනාවකට ආරක්ෂිතයි.
සම්පූර්ණයෙන්ම විකසිතවී පරිණත වූ නෙළුමක දුහිතෘන් උපදින්නෙත් උපතින්ම රන් හරයකට උරුමකම් කියාගෙනමයි.මන් ටිකක් හිතුවා දුර වැඩියිද මන්දා.
ඒත් මන් මේ දේට ආසයි.
එවැනි සිතුවිලි තුල සිදුවන සක්මන අවසානයේදි මගේ අධ්යාත්මයේ වර්ධනය මටම දැනෙනව.දන්නෙම නැතුව හඳ මුදුන් වෙලා.
මේ ගත වෙන්නෙ පුර අටවකය. අමාවකට තව දින කීපයයි.
තව හෝරාවකින් මගෙ ටෙසෙනාවත් අරං පුහුණු පිටියට යන්න ඕනි.
ටිකක් මහන්සියි.
ඒත් හෙට දවස වටිනවා.එකිනෙකා ජීවත් වෙන්න තෝරාගන්න හේතූන් විවිධාකාර වුනත්, ඒ හේතුව පිටිපස්සෙ ඇති අරමුණින් ගම්ය වෙන ජීවිතය පිලිබඳ අර්ථය හැමෝටම පොදුයි...♡