සමහර සිතුවිලි හිතට ආවත් මොහොතකින් එවැනි සිතුවිල්ලක් ආවාදෝ කියලවත් හොයාගන්න බෑ.
නමුත් ඒ සිතුවිල්ලට හේතුවුනු මූලබීජය තවමත් ජීවමානයි.
ඒ දෙය හිත උඩ සක්මන් කරන අවස්ථාවලට මම හරි ආසයි.
සියුම් කිතියක් වගේ දැනෙන ක්ෂණික චිත්තමාලාවන් ගොන්නක ස්පර්ෂය ජීවිතේට යම් ආකාරයක නැවුම් බවක් ලබා දෙනවා සේ මට දැනෙනවා.
අපේ ජීවිතේ මේ විල නම් හිතත් හරියට මේ විලේ වතුර වගේ.
එතකොට සිතුවිලි අපි ගමන් ගන්නා ජල යාත්රාවෙන් ජල මතුපිට ඇඳෙන රේඛා හා සමානයි.
මේ ජල යාත්රාව අර මූලබීජයට උපමාවයි. සෑදෙන සෑම රේඛාවක් පාසාම ජලය මතු පිට ඇති රොඩු කැලති පාවී විල් ඉවුර දෙපස ගොඩ ගැසෙනවා.
තවත් විමසනකොට හරිම සිත්ගන්නාසුලු යි.වරුවයි හෝරා කීපයක පමණ ගමනකින් පසු හිරු බැස්මට යාමයන් දෙකක් තබා අපිට යුන්මෙනයට ළඟා වීමට හැකි වුනා.
ඈතදීම යුන්මෙන් වැසියන්ගේ සුපුරුදු ප්රීතිමත් ඝෝෂාව ඇහෙනවා.
සාමාන්යයෙන් ඝෝෂාකාරී ස්ථාන වලට අකැමති වුවත් යුන්මෙන්හි මේ කන්කලු සුහද ඝෝෂාවට මම අතිශයින්ම ප්රියයි.
අපි ගමන් ගත් ජලයාත්රාව නෙලුම් කලපුවේ ප්රධාන තොටුපල අසල ගාල් කෙරූ විට සිචෙන් පියාණන් පළමුවෙන් තොටුපලට ගොඩවූ පසු මම වමතින් මදාරා මල් පොකුර රඳවා සිටි වනම ඔහුගේ උදව්වෙන් තොටුපලට ගොඩවුණා.
පියාණන්ගේ වමතින් අල්ලං ඔහුට තව ටිකක් සමීප වී නෙලුම් කලපුවේ තොටුපල වෙළඳසල පසු කරමින් ගමන් කරන විට සියලූම යුන්මෙන් වැසියෝ කියාගන්නට බැරි තරම් සුහදශීලීව අපිට ආචාර කරන්න පටන් ගත්තා.
"සෙව් ජූන්, නී කුළ දියණිය,
නෙළුම් කලපුවට සාදරයෙන් පිලිගන්නවා ඔබ දෙපලව."
ඔවුන්ගෙ අව්යාජ හසරැලි මගෙ හිතට හරි අමුතු සහනයක් ගෙනත් දුන්නා.යුන්මෙනය හරිම සුන්දරයි.
නෙළුමින්ම හටගෙන නෙළුමින්ම හැඳුනු රාජධානියයි මේ.
බලන බලන සැම තැනම ජලයෙන් පෝෂිත අවුරුද්දෙ කිනම් කලක වුවද සෞම්ය හිතකර දේශගුණයක් තිබෙන යුන්මෙනය වචනයේ පරිසමාප්තියෙන්ම ස්වයංපෝෂිතයි සේම සෞභාග්යයි.
දැවයෙන්ම නිම වූ මනබඳනා ගෘහනිර්මාණශිල්පය, පියුම හා බැඳුනු වාස්තු අලංකරණ ආවේණික යුන්මෙනයටම පමණයි.
කුඩා කල සිටම පැහැයන්ට ප්රියකරන මගේ ආසම පැහැයන් වල ඉහලින්ම ඉන්නෙ යුන්මෙන් ජම්බූල පැහැය.
ඒ පැහැය දෙස ඕනෑම වේලාවක් මට බලාසිටීමට හැකියි.
අපරිශුද්ධ රාජධානියේදී සෑම සවස් භාගයකදීම හිරු බස්නා මොහොත වන විට මගේ පෞද්ගලික පුස්තකාලයට දුවන්නේ ද එහි සඳලු තලයට වී මේ ජම්බූල පැහැයෙන් සිත්තම් වූ අහස් කුස නැරඹීමටයි.
ඉදින් යුන්මෙනය සෑම දිනකම මගේ ජීවිතේ කොටසක් වී හමාරයි යනවග තවදුරටත් නොරහසක්.
කෝම නමුත් යුන්මෙනය හැමදාම මෙසේ තිබුනේ නෑ.
ඒ මම හොඳින්ම දන්න දෙයක්.
මා ඉපදීමටත් පෙරාතුව සිදුවූ මලහිරු සරයේදි මුළුමුනින්ම පාහේ විනාශ වූ මේ පියුම් දහන නැවත දලුදා නැගුනේ හරියට විනාශ වූ නෙළුමකින් ජනිත වී මඩ යට තැන්පත් වුණු නෙළුම් බිජුවක් ප්රරෝහ දා නැවත ප්රාණය ලැබුවා සේයි.
ඒ බීජය අදටත් ජීවමානයි.සිතුවිලි ගොන්නක අතරමන් වූ මම නොදැනුවත්වම යුන්මෙන් නෙලුම් පියසට ඇවිත්.
මදාරා මල් පොකුර දෑතින්ම කැටි කරගත් මම එක එල්ලෙ බලන් සිටියේ ඒ රුව දිහා.
මේ හමුවීම කිසි දිනක ආගන්තුක නොවුනත් මුණ ගැසෙන සෑම මොහොතක් පාසාම දැනෙන්නෙ හරි ගුප්ත හැඟීමක්.
එය කිසි දිනක මට විස්තර කරගන්න බැරිබව මම හොඳාකාරවම දන්නවා.ජියන් චෙන්...♡
යුන්මෙනයේ පුනර්භවය.
පියුම්දහනේ බීජය.
මින්ජූ පියාණන්ගෙන් පසු මම දුටු ශක්තිමත් ම නිර්භීත ම රණශූරයා ඔහුයි.
නෙලුම් පියසේ වංශ නායක අසුනේ හරිම ගාම්භීර ලීලාවෙන් ඉඳ සිටින ඔහු රන්වන් මලහිරු රැසට බැබලෙනවා.
ජියන් වංශනායක තද ජම්බූල පැහැ නිල ඇඳුමට ඔහු තවත් කඩවසම්.
අනෙක් අයට වඩා හාත්පසින්ම වෙනස් විදිහට පසෙකට පීරූ කේශ කලාපය, නලලේ දකුණින් මුහුනට වැටුනු සිහින් කෙස් රැල්ල, කෝප නොවූ විටදී පවා එබඳු ඉරියව් පිරුණු මුහුණ, පෘථුල උරහිස්, ශක්තිමත් දෑත්, රණ ශූරයෙකුට ඔබින ඉඟ, දුටුවනම සිත්ගන්නා උස් දේහය...
අනාගත නී උරුමක්කාරියගේ හිතට කා වදින්න තරම් ඔහු පරිපූර්ණයි.සිටි අසුනෙන් නැගිටි ඔහු අප ඉදිරියට පැමිණියේ සුපුරුදු සුහද ප්රියමනාප සිනහවෙන් සංග්රහ කරමින්.
සිචෙන් පියාණන්ගේ ආචාරයට ප්රතිආචාර දැක්වූ ඔහු මා දෙසට හැරුණු විට දෑත් එක්කොට ආචාර කිරීමට සුදානම් වූ මාව වැලැක්වූවා."සකුරා, සාදරයෙන් පිළිගන්නවා ඔබව"
සැලකිය යුතුතරම් වයසක් වුවත් එකඳු රැළිවැට්මක්වත් නොවූ මුහුණ මේ විසි එක් වසර පුරාවටම එකම විදිහට පවතින්නෙ කොහොමද.
අදටත් ඔහු පෙරසේම ශක්තිමත්, කඩවසම්, ගාම්භීරයි.
"ස්තූතියි නායකතුමනි..."
යි පවසමින් ගෙන ආ මදාරා පොකුර ඔහු අතට දුන් මම මදක් පිටුපසට උනේ මගේ හදේ ගැස්ම ඇසේවි යන බියෙන්.
මදාරා මල් පොකුර දෑස් පියා නාස්පුඩු අතරට ලං කළ ඔහු නැවත මා දෙස බැලුවා."ඒ ඉනපටිය සමඟ පලඳනාව, එය ඔබට ලස්සනයි"
තවදුරටත් මේ ජල මතුපිට ඇති වූ තවත් එක් රේඛාවක් දෝ නැත්නම් දැවයක් මත කෙටු කැටයමක් දෝ යන වග සිතාගත නොහැකියි.