2

109 8 5
                                    

එය පැමිණියේ ඉතාමත් වේගයෙනි. කාටත් හොරෙන් කාටත් නොදැනීම නමුත් ඉතාමත් වේගයෙන් යුද්ධය නමැති ඒ මහා භයානක මංකොල්ලකරුවා අප හදවත් වල වූ සතුට හා නිදහස සොරා ගන්නට පටන් ගත්තේය.

අපගේ ජීවිතවලට යුද්ධයේ උලලේනිය හඬන්නට පටන් ගත්තේ අපේ අම්මා පවසන ආකාරයට නම් මා හට හයක් හතරක්වත් නොතේරෙන අවධියේය. නිවසේ සාලයේ වූ රෑපවාහිනිය ඉදිරිපිට විශාල සෝපාවේ මා ඉඳගත් විට බිම නොගෑවෙන කකුල් දෙක වන වනා කිසිවක් නොතේරෙන මුත් සියල්ලම හොදින් අවබෝධ වන වැඩිහිටියෙකු මෙන් මා ප්‍රවෘත්ති බලන්නට හුරු වූ කාලයයි ඒ.

මා එලෙස ප්‍රවෘත්ති බලන්නට උත්සුක වූයේ පසුවදා පාසලට ගොස් වැඩිහිටියන් මෙන් මිතුරන් සමග ' රටේ තත්වය ' පිලිබඳ කතා කිරීමට මා තුළ වූ ආශාව නිසාය. ඇරත් එලෙස නිවසේ වැඩිහිටියන් හා එක්ව එකට ප්‍රවෘත්ති නරඹන කල මටද ' මම මහා ලොක්කෙක් ' යන හැගීම දැනුණි.

ජන මාධ්‍ය වෙලා ගනිමින් වසංගතයක් සේ, නැත! වසංගතයකටත් වඩා බිහිසුණු ලෙස, ශ්‍රී ලාංකේය ප්‍රෞඪ ඉතහාසයේ මැකිය නොහැකි පැල්ලම් ඇති කළ සන්ධිස්ථාන බවට පත් වුණු සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ බණ්ඩාරනායක - චෙල්වනායාගම් ගිවිසුම නිසා ඇතිවූ සිංහල දෙමළ, නැතහොත් උතුර දකුණ භේදයත් යාපනය තිරුණාවෙලිහිදී නිකරුණේ වා තලයට මුසු වුණු අහිංසක සිංහල සොල්දාදුවන්ගේ ජීවිතත් මුළු මහත් දිවයිනම භීෂණයෙන් වෙව්ලුවා ලූ කළු ජූලියත් මහ මාර්ගය මැද තාර බැරලයක දමා පණ පිටින් පුළුස්සා දැමූ සිංහල දැරියගෙ සිදුවීමත් වැනි මිනිස් වෙසින් ආ අමනුෂ්‍යයින් සිදු කළ විවිධ සිද්දීන් ගැන අප නිවස තුළ මහ හඩින් හූල්ලමින් කතා බස් කිරීම ඇරඹුණි.

තාත්තාගේ අනාවැකි පරිදි අපේ සිත් බියෙන් සලිත කළ එම ඛේදනීය සිදුවීම් දාමය මෙරට ව්‍යසනකාරී ජන වාර්ගික අර්බුදයකට අවශ්‍ය මුලික අඩිතාලම ඕනෑවටත් වඩා ශක්තිමත් ආකාරයෙන් දමා තිබුණි.

සුළු සුළු දේශපාලනික ඝට්ටන මතින් පැන නැඟුණු, එකිනෙකාට ඇගිලි දිගු කර ගනිමින් සිදු කෙරෙන චෝදනා ආදී වූ මෙම දේශපාලන ටීටර් කිසිදා කිසිවෙකු නොසිතූ විරූ ආකාරයට ඉතාමත් භයානක ලෙස, ඇගිලි වෙනුවට උණ්ඩ පිරවූ ගිනි අවි එකිනෙකාගේ පපු මතට දිගු කරගන්නා, මෝසම් වර්ෂාවේ හෙන මෙන් වෙඩි වරුසා හා බෝම්බ පිපිරෙන, අහිංසකයන්ගේ රතු රුධිරය සිංහල දෙමළ භේදයකින් තොරව මව් බිම පොඟවන ' යුද්ධය ' නම් වූ ඒ භීෂණය ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූ එම දිවයිනට වේදනාකාරී කලියුගය කැන්දාගෙන ආවේ ඉතාමත් වේගයෙනි.

තමාගේ හා තම ආදරණීයන්ගේ ජීවිත පිළිබද අවිනිශ්චිතතාවය හා බිය මිශ්‍ර වූ ඒ අප්‍රසන්න හැගීම, ජීවත් වීමේ බලාපොරොත්තු බිදෙන් බිඳ සුරා වේගයෙන් ගැහෙන හදට තුරුළු කරගත් යුධ බිමේ තම විශ්වසනීය ගැලවුම්කරු වූ ගිනි අවිය තුළ ඇති උණ්ඩ සමග යුධ බිමට මුදා හරින දේශමාමකත්වයෙන් සිත පුරවාගත් සොල්දාදුවාගේ සිට, නිවසට වී විනාඩි පහෙන් පහට රූපවාහිනියේ විකාශය වන කෑ ගසා හඩන මිනිසුන්ගෙන් යුත් බ්‍රේකින් නිවුස් පෙළ දෙස වික්ෂිප්ත දෑසින් බලා සිටින කුඩා දරුවා දක්වා, ජාති ආගම් කුල මල උස් මිටි දුප්පත් පොහොසත් භේදයකින් තොරව සෑම සිතකම පිළිලයක් සේ තදින් පැලපදියම් විය.

සතුට සිදී ගිය, නිදහස පලා ගිය, ඝාතනය කළ සිහින වලට පණ දෙන්නට අර අදින, සාමයේ පිපාසාවෙන් පීඩිත වූ සමාජයක, ප්‍රේමයේ දිය බිදක පහස සොයමින් අවිනිශ්චිතතාවයේ හා මරණ බියේ ආධිපත්‍යයට යටත්ව ඔහේ උඩ බලාගෙන සිටින්නට සිදුවන කාලයක් අපටත් උදා වූයේ කාටත් නොදැනී නමුත් ඉතාමත් වේගයෙනි.

මෝෆින්Where stories live. Discover now