"මාසයක් ගෙදරට වෙලා මොකද කරේ?"
මම සිලවාගෙන් ඇසුවේ මාසයක නිවාඩුව අහවර කොට පැමිණි පසුවය. තවම පැමිණ සිටියේ අපගේ සගයින්ගෙන් අතලොස්සක් පමණි.
"මම ගාමන්ට් කෝස් එකක් කරා" සිල්වා විරිත්තුවේය.
"ඔව් උඹට ගැළපෙනම එක. අපරාදේ උඹට ආයේ කෑම්ප් එන්නේ නැතුව ගමේ ගෑනුන්ට රෙදි මහ මහ ඉන්න තිබ්බේ"
අපි බිලට් එක ශුද්ධ පවිත්‍ර කිරීම අරඹුවෙමු.
"ඒක නෙමෙයි... කෝ බං අපේ අනිත් උන්?"
"එයි තව දවල් වෙද්දි. කොහොමත් මම ඊයේ රෑ කෝච්චියට නැග්ග නිසානේ මෙච්චර උදෙන් ආවේ. අනිත් උන් එයි තව ටිකකින්" සිල්වා පැවසුවේ අත බැඳි ඔරලෝසුව දෙස බලමිනි.
මාත් සිල්වාත් අනෙකුත් සගයින් සමග බිලට් එක පිරිසිදු කොට අවසන් වනවාත් සමගම චාරුක පැමිණි අතර මදක් සවස් වූ පසු පංසිළුද පැමිණියේය.
"කීයටද ෆෝලින්?" චාරුක ඇසුවේය. "ගොඩ වෙලා තියෙයිද දන්නෑ?" පන්සිළු එයට තවත් පැනයක් එක් කළේය.
"හතරට ෆෝලින්. ගොඩ වෙලා තියෙන්නේ නැති වෙයි. නිකන් පොඩි පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා කිව්වේ. ඔක්කොම ඇවිල්ලද බලලා ඉස්සරහට කරන්න ඉන්න ඒව ටික නිකන් කියලා යුද්දෙ ගැනත් මොනාහරි කියලා... මං හිතන්නේ පැයකින් වගේ ඉවර කරයි" අයියා මා හට කලින් කියා තිබූ දැනුවත් කිරීම මම පැවසුවෙමි.
"සුබ සන්ධ්‍යාවක් වේවා තුමනි! වෛද්‍ය සෙබළුන් හැට අට දෙනෙකුගෙන් යුත් පාඨමාලාව ඔබ තුමාගේ දේශනය සඳහා සූදානම් තුමනි!"
අයියා විසින් කඳවුර භාර නිලධාරි වෙත එසේ රපෝර්තු කරන විට මට පෙනී ගියේ පාඨමාලාව පටන් ගත් කාලයට වඩා දැන් සිටින සාමාජිකයින් ගණන ඉතාමත් අඩු බවය. එය පටන් ගත් මුල් කාලයේදී සාමාජිකයින් එකසිය විස්සක් සිටි බව මට හොඳටම මතක තිබුණේ අයියා ඒ කාලයේ එය රපෝර්තු කිරීම සඳහා තම හඬ උස් කොට එය පවසන විට 'එකසිය ' නොව 'එකෂිය' ලෙස එය උච්චාරණය වූ බැවින් එය සිල්වාගේ අනුකරණය කිරීම්වලට නොමදව ලක් වූ නිසාය.
"හම්මෝ... එකක් ඉවරයි! මේ මාසෙට පස්සේ තව මාසයක් නිවාඩු. ඊටපස්සේ ආයේ මාසයක්... ඊටත් පස්සේ අපි... ඩොක්ටස්ලා" ඇඳුම් මාරු කරන අතරතුර චාරුක පැවසුවේය.
YOU ARE READING
මෝෆින්
Romanceසතුට සිදී ගිය, නිදහස පලා ගිය, ඝාතනය කළ සිහින වලට පණ දෙන්නට අර අදින, සාමයේ පිපාසාවෙන් පීඩිත වූ සමාජයක ප්රේමයේ දිය බිදක පහස සොයමින් අවිනිශ්චිතතාවයේ හා මරණ බියේ ආධිපත්යයට යටත්ව ඔහේ උඩ බලාගෙන සිටින්නට සිදුවන කාලයක් අපටත් උදා වූයේ කාටත් නොදැනී නමුත් ඉත...