"තුමනි"
බූට් දෙක නැතිව ඒ ගිනි කාෂ්ටක අව්වට රත් වුණු පොළොවේ ඉදිකටු තුඩු මෙන් තියුණු බොරලු ගල් ඇනි ඇනි වට පහක් තියා වට බාගයක්වත් දිවිය නොහැකි බව ඒ වනවිටත් යටිපතුලට දැනෙන වේදනාව සමනයකට පත් කරගැනීමට කකුලෙන් කකුලට මාරුවෙමින් සිටගෙන සිටි මට අවබෝධ විණි.
"දුවපිය ඉතින්!!!"
"තුමනි"
පණ ගියාක් සේ ඔහුට ප්රතිචාර දක්වා මම දිවීම ඇරඹුවෙමි. දුවන අතරතුර අපේ සගයින්ට පුහුණු කරවන අයියා දෙස රෞද්ර බැල්මක් හෙලා ගමේ නන්ගිලාගෙන් මා පුරුදු වූ ආකාරයට ගස්සා අහක බැලීමට ද මම අමතක නොකළෙමි.
((අර යමපල්ලගෙන් මාව තමුසේ බේරගනියි කියලා හිතුවට මට මෙහෙම වෙලා මදි))
ඉතාමත් අමාරුවෙන් වටයක් හමාර කරන විට එදිරිසිංහ හා අපේ අයියා මගේ සගයින්ට සරඹ පුහුණු කරමින් ඔවුන්ගේ ඔළු කමින් සිටියෝය.
((අරූගේ ආච්චිට හාල් ගරන්ඩ! තව වට හතරක් දුවපියකෝ))
මගේ ගෙල වටා එතුණු බූට් ලේස් එක නිසා ගෙල කැපී යන තරම් ඇති වූ වේදනාව මට අමතර වෙහෙසක් එක් කළේය. එම වේදනාව තවත් නම් දරාගත නොහෙන තරමට පත් වූ විට එදිරිට බම්බු ගසා ගන්නට කියා මම බූට් දෙක බෙල්ලෙන් ගලවා අත් දෙකට ගෙන දුවන්නට වීමි. බෙල්ලේ බැදගන්නට කී බූට් දෙක අතට ගත් බව එදිරි දුටුවත් එයට ඔහු මට කිසිත් කීවේ නැත.
සැබවින්ම මා දිව්වෙ නැත. දුවනවා සේ රගපා පෙන්වුයෙමි. නමුත් මම මන්දගාමී වනවා දකින සෑම විටකම ඔහු මා හට වේගයෙන් දුවන්නැයි තරවටු කළේය. එවිට මට දස වධ දී අහිංසක සතුටක් ලබන ඒ අසරණ මිනිසාට 'මූ මන් කියන දේ අහනවා' යන ආත්ම තෘප්තිය ලබා දීමට පමණක් ඔහුගේ කීමට අඩි දෙකක් පමණ දුවනවා සේ පෙන්වා නැවත මම මගේ සුපුරුදු ඉබි ගමනට මාරු වී දිව්වෙමි. නමුත් මා සිතන පරිදි 'ඇවිද්දෙමි' යන්න නිවැරදිම වචනයයි.
මේ අතරතුර මම එදිරිගේ හත් මුතු පරම්පරාවටම මගේ ප්රණාමය පුද කළෙමි. මා කෙතරම් එම කටයුත්ත කලාදැයි කියතොත් ඔහුගේ ඤාතීන් තමාට මෙලෙස එක දිගට කිවිසුම් ගියේ දරුණු සෙම්ප්රතිශ්යාවක් වැළඳී ඇති බැවිනැයි සිතා දැනටමත් රෝහල්වල පෝලිම් ගානේ රස්තියාදු වනවා ඇත. එමෙන්ම ඔහුගේ මිය ගිය ඤාතීන් මිනී වලවල් වල සිටම කිවිසුම් හරින ශබ්දය සොහොන අසල සිටි මිනිසුන්ට ඇසී ඔවුන් මහසෝනා තමාට ශාප කළ බව සිතා එම මහසෝනාගේ දිස්ටියෙන් මිදීමට සිදු කෙරෙන තොවිලය සදහා බිල්ලට දීමට කරමල රතු වූ කුකුළන් සොයනවා ඇත.
YOU ARE READING
මෝෆින්
Romanceසතුට සිදී ගිය, නිදහස පලා ගිය, ඝාතනය කළ සිහින වලට පණ දෙන්නට අර අදින, සාමයේ පිපාසාවෙන් පීඩිත වූ සමාජයක ප්රේමයේ දිය බිදක පහස සොයමින් අවිනිශ්චිතතාවයේ හා මරණ බියේ ආධිපත්යයට යටත්ව ඔහේ උඩ බලාගෙන සිටින්නට සිදුවන කාලයක් අපටත් උදා වූයේ කාටත් නොදැනී නමුත් ඉත...