"නැගිටිනවලා"
බිලට් එක ඉදිරිපිට සිට හෙන පුපුරනවාක් මෙන් කටහඬක් ඇසිණි.
"නැගිටිනවලා ඉක්මනට... තොපි පස්සට එළිය වැටෙනකන් බුදියගෙන ඉන්න මේක අම්බලමක් කියල හිතුවද? නැගිටිනවා! *6ට ෆෝලින්!"
ඒ හෙන පුපුරන කටහඩ ටිකින් ටික බිලට් එක ඇතුලෙන් ඇසෙන්නට පටන් ගත්තේය.
"මොකාද බං මේ රෑ දෙගොඩහරියේ බෙල්ල මිරිකලා වගේ බෙරිහන් දෙන්නෙ"
විවර කිරීමට නොහැකි තරම් වෙහෙසින් හා නිදිමතින් බරැති ව තිබූ ඇසිපියන් හැරීමට මම උත්සාහ කළෙමි. එක්වරම ඉතාමත් වේදනාත්මක පොලු පහරවල් දෙක තුනක පහස ලබා උඩගොස් අවදි වුණු අප සිව්දෙනා ඇදන් වලින් බිමට බැස්සා නොව ඉබේම බැස්සුණේය. නිදිමත කොහෙටදෝ පලාගිය මගේ දෑසට ග්රහණය වූයේ සිල්වා පෙරදී පැවසූ පරිදිම අපව දවා අළු කළ හැකි තරම් වූ රැස් මාලා තම දෑස් තුළින් විහිදුවමින් ඔහුගේ පරමායුධය වන, මීට මොහොතකට පෙර අපගේ පිටවල් ආදරයෙන් ස්පර්ශ කොට එහි රතු පාටින් සිත්තම් ඇඳි ඒ දඩාර කේන් එකත් කිහිල්ලේ ගසා ගෙන සිටින එදිරිසිංහ ය.
"ඊළඟ පාර හොඳින් කියන්නෑ තොපිට!"
((කලින් කිව්වෙත් හොදින් යැ... නොදකින්! මේ මිනිහගේ මරි මූසල කටහඩ අහගෙනද දැන් උදේට නැගිටින්නත් ඕනේ... මුළු දවසම මුස්පේන්තුයි! කෑම්ප් එකට කොටිවත් ගහයිද දන්නෑ... අප්පේ...! ඒ තරම් මුස්පේන්තු කටහඬක් අපේ ගමේ උලමටවත් නෑ))
"ඇයි බං අද හබරගමුව සර් ආවෙ නැත්තෙ? වෙනදට එන්නෙ එයානේ" සිල්වා අප සියල්ලන්ගේම සිත් වල තිබුණු පැනයට වදන්වලින් පණ පෙව්වේය.
"කව්ද බං දන්නෙ" මම පිළිතුරු දුන්නෙමි.
"අඩෝ! අද මුලින්ම ඩ්රිල් නේද තියෙන්නේ? කිට් ඉන්ස්පෙක්ශනුත්* තියනවා කිව්වා... බූට් දෙක පොලිෂ් කරෙත් නෑ යුනිෆෝම් අයන් කරෙත් නෑ...!" චාරුක එසේ පවසද්දි මගේ අත් නිරායාසයෙන්ම මගේ හිස බදාගත්තේය.
"අප්පටසිරි! දැන් මොකද කරන්නේ මං යුනිෆෝම් එක හේදුවෙවත් නෑ ඕයි!" මම මගේ හඩූ ගද ගසන යුනිෆෝම් එක ඉඹ එයින් හමා විත් මගේ මොලයටම කිදා බැසගත් මගේම ජීවන සුසුඹ නිසා ඇති වූ තොන්තුවෙන් පැවසුවෙමි.
YOU ARE READING
මෝෆින්
Romanceසතුට සිදී ගිය, නිදහස පලා ගිය, ඝාතනය කළ සිහින වලට පණ දෙන්නට අර අදින, සාමයේ පිපාසාවෙන් පීඩිත වූ සමාජයක ප්රේමයේ දිය බිදක පහස සොයමින් අවිනිශ්චිතතාවයේ හා මරණ බියේ ආධිපත්යයට යටත්ව ඔහේ උඩ බලාගෙන සිටින්නට සිදුවන කාලයක් අපටත් උදා වූයේ කාටත් නොදැනී නමුත් ඉත...