අම්මාගේ හා නංගිගේ බලවත් විරෝධය මධ්‍යයේ වුවත් මම ද අයියාගේ අඩි පාරේ යමින් යුධ හමුදාවට බැදුණෙමි. තාත්තාගෙන් ද යම් තරමක විරෝධයක් එයට එල්ල වූ නමුදු අය්යාට තරම් මට විරෝධය නොපැවේ අයියා මෙන් නොව මා වෛද්‍යවරයෙකු ලෙස යුධ හමුදා වෛද්‍ය බලකායට බැඳුණු නිසාවෙනි.
යුධ හමුදාවට බැඳුනු නවක වෛද්‍ය සිසුන් හට මාස තුනක මුලික යුධ හමුදා පුහුණුවක් ලබා දේ. එහි සැර පරුෂ පුහුණු කරුවන් ගෙන් එක් අයකු වූයේ අපේ පියාගේ වැඩිමහල් පුතු වූ එශාන් හබරගමුව නම් වූ ඇවිදින විට අඩි තුන හතරක් ඉහලින් ගමන්කරන ලුතිනන්වරයා ය. ඔහුගේ බාල සොයුරා වූයේ ඉතාමත් කඩවසම්, හුරුබුහුටි හා සිංහල වාග් කෝෂයේ ලස්සන යන පදයට පර්යාය වන සියලුම පදවලින් හඳුන්වා දිය හැකි, බුද්ධිමත් හා දක්ෂ, හත්මුතු පරම්පරාවටම ආඩම්බරයක් ගෙනදෙන, රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම, මුළු මහත් විශ්වයටම වටිනා, මිලකළ නොහැකි සම්පතක් බඳු වූ තවත් පවසනවා නම් තමා පිළිබඳ ඕනෑවට වඩා පුරාජේරු කියන්නන් දැඩි සේ හෙලා දකින අශාන් හබරගමුව වේ.
මුල් දින කිහිපය තුළ මගේ සගයින් මා ඉදිරිපිට මගේ සොයුරාගේ අගුණ පිළිබඳ කටින් කෙල බිඳක් හෝ නොහෙලීමට වග බලා ගත්තේ ඔවුන් පිළිබඳව මගේ සොයුරාට පැමිණිලි කිරිම යන චීත්ත ක්‍රියාවේ මා යේදේවි යන බියෙනි. නමුත් ඔවුන්ගේ පුදුමයට, දින දෙක තුනක් ඇතුළත දී ම කදවුර තුළ එශාන් විරෝධී ව්‍යාපාරයේ මුලසුන හෙබවූයේ මගේම පියා විදුහල්පති වූ පාසලේ පියාට විරුද්ධව කැරලි ගැසූ මම ම වීමි.
එයට හේතුව නම් අයියා සැමවිටම අන් අය ඉදිරියේ මගේ කිසිදු වැරද්දක් නැතිව පවා මාහට නිකරුනේ බැන වැදීම නිසාය. අයියා සමඟ තනි වූ අවස්ථාවක ඒ ඇයි දැයි විමසූ විට ඔහු කීවේ තමා තම සොයුරාට වැඩි සැලකිලි නොදක්වන අතර සැමටම සමානාත්මතාවයෙන් සලකන බවය. අයියා පවසන ආකාරයට නම් මගේ කකුල් දෙකට බැස ඇති මොළයෙන් මා තේරුම් ගත්තේ ඔහු මට හැර අනෙක් සියලුම දෙනාට සමානාත්මතාවයෙන් සලකන බවය. කුඩා කාලයේ මෙන් නොව දැන් මා වගකිව යුතු වැඩිහිටියකු බැවින් මම අයියා පවසන සෑම රෙද්දකටම එකට එක නොකියා ඔහේ උඩ බලාගෙන සියල්ලම හිස වනා පිළිගත්තෙමි.
"මේ ඉන්නේ ලෙෆ්ටිනන්ට් එදිරිසිංහ. අද ඉඳලා ඔයාලගේ ට්‍රේනින් වලට සර්ත් එනවා මාත් එක්ක"
එක් උදෑසනක අයියාට පසෙකින් සියල්ලන් වශී කරගන්නා දෙකොපුල් වල ගැසෙන සිනහවකින් මුව සරසාගෙන සිටි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කඩවසම් ලුතිනන්වරයා පෙන්වමින් අයියා පැවසුවේය.
"එදිරිසිංහ සර් නම් හොඳයි වගේ පේන්නේ" මම චාරුකට කීවේ ලැබුණු කෙටි විවේකයක් අතරතුරදීය. "ඒ වගේ තමා පේන්නෙ ඒත් කියන්න බෑ බං උඹලෑ අයියා දැක්කහමත් අපි හිතුවේ ඕකම තමා. පස්සෙනෙ දන්නෙ පොර මොන වගේද කියලා" චාරුක කීවේ ඈතින් අලුතින් පැමිණි එදිරිසිංහ සර් සමග සිනාසෙමින් කතාබස් කරමින් සිටි අපේ අයියා දෙස බලාගෙනය. "ඔව් බං එදිරිසිංහ තාම අපිට ෆිසිකල් වලට ආවෙ නෑනෙ. හෙට උදේ දිහාට අපිට බලන්න පුළුවන් වෙයි එදිරිසිංහ ඇත්තටම එදිරිවාදියෙක් ද නැද්ද කියලා" කොහේදෝ සිට පැමිණි සිල්වාද අපේ කතාවට හවුල් වුනේය.
"ඒත් මං හිතන්නෑ එදිරිසිංහ අපේ අයියා තරම් වසයි කියලා. බලන්නකෝ මූණ... ඒ මූණ දැක්කම එහෙම හිතෙනවද බං" මම කීවෙමි. "මේ මොකද බං මේ... උඹ එදිරිසිංහ සර්ට වහ වැටිලද... මට ඒත් හිතුනා සර්ත් උදේ පැණි හිනාව දාගෙන වටපිට බලද්දී අපේ එකෙක් අනිවාරෙන් දැලට වැටෙයි කියලා... ඒත් මං හිතුවෙ නෑ ඒ උඹ ම වෙයි කියලා බං" ඒ හතර බීරි කතාව අසා අනෙක් උන් කටවලුත් ඇරගෙන පුදුමයෙන් මා දෙස බලද්දි සිල්වා තම බෝක්කු කට අතින් වසාගෙන සිනාසෙන්නට විය. "පිස්සුද බං උඹට" සිල්වාගේ හිසට පහරක්ද එල්ල කරමින් මා හුන් තැනින් නැගිට්ටේ සරඹ සඳහා යාමටය.
සිල්වාගේ අනාවැකි පරිදි එදිරිසිංහ සැබවින්ම එදිරිවාදියෙක් ද නැතිනම් හිතවාදියෙක් ද යන්න නිගමනය කර ගැනීමට අප සැමටම අවශ්‍ය වී තිබිණ. ඒ සඳහා අප සිදුකළ පරීක්ෂණයෙන් දැනට තහවුරු වන්නේ සැමටම නිර්ලෝභීව තම සිනහවෙන් සංග්‍රහ කළ එදිරිසිංහ සියයට සියයක් ම හිතවාදියකු බවයි.
නමුත් ඒ, පුහුණුව අරඹා සතියක් පමණ ඈත අතීතයේ පටන් පැවත එන ඓතිහාසික පුරාවෘත්තයේ පරිදි අපට ෆිසිකල් ට්‍රේනින් කරන විට ඕනෑම කුමාරයෙකු යක්ෂයකු වන ඒ මහා භයානක ඉරණමට අපේ අයියා, අයියාට පසුව පැමිණි කොට සාජන් මෙන්ම එදිරිසිංහත් පත් වේවි දෝ යි යන සාධාරණ බිය අප සැමගේ සිත් සතන් තුල පැවතිණ.
අප සිතූ පරිදිම පසුදා උදේ ෆිසිකල් සඳහා පැමිණ සිටියේ එදිරිසිංහ පමණි. ඔහු සැමටම සුභ උදෑසනක් පැතූ අතර ඔහුගේ සිනහව පෙරදා මෙන්ම මදක්වත් නොඅඩුව එලෙසම පැවතිණ.
"අද ඉඳන් ඔයාලට ෆිසිකල් කරන්නේ මම"
YOU ARE READING
මෝෆින්
Romanceසතුට සිදී ගිය, නිදහස පලා ගිය, ඝාතනය කළ සිහින වලට පණ දෙන්නට අර අදින, සාමයේ පිපාසාවෙන් පීඩිත වූ සමාජයක ප්රේමයේ දිය බිදක පහස සොයමින් අවිනිශ්චිතතාවයේ හා මරණ බියේ ආධිපත්යයට යටත්ව ඔහේ උඩ බලාගෙන සිටින්නට සිදුවන කාලයක් අපටත් උදා වූයේ කාටත් නොදැනී නමුත් ඉත...