"නවත්තාපල්ලා!"
රසුද්ට එය ඇසුණේ සිහිනයෙන් විය යුතුය. නමුත් යමෙකුගේ පියවර හඬ මඳින් මඳ ළඟා වන විට ඔහුට දැනෙන්නට වූ තිගැස්ම දැනටත් පොළොවේ වැලිවලට සීරී තුවාල වූ දෑත්වල වේදනාවටත් වඩා වැඩියෙන් රසුද්ට දැනෙන්නට ගෙන තිබිණි...
මහ රජුන්ගේ ගමනට බාධා කරන්නෙකුට හිමිවන්නේ දැඩි දඬුවම් නොවේද?
"නැගිටපන්!" ගොරහැඬි නමුත් කාරුණික යැයි සිතිය හැකි හඬක් ඇසෙත්ම මෙතෙක් වේලා පොළොවේ මූණ හංගාගන්නට තැත් දැරූ රසුද් ට හිස ඔසවන්නටම වූයේ ඒ හඬෙහි ආධිපත්‍යය විසින් ඔහුව යටපත් කරගත් බැවිනි...
රසුද් හිස එසවූයේය... මුලින්ම තම මුහුණ ඉදිරිපිට තිබුණු රන් මිරිවැඩි සඟලත්, එතැනින් ඉහළට වූ විට රන් නූලෙන් වැඩ දැමූ කුණු ලේ පැහැ දෝතියත් පමණක් ඔහුගේ නෙතට හසුවිය...
සිදුව ඇත්තේ කුමක්දැයි වටහාගන්නට වැඩි කාලයක් නාස්ති නොකළ රසුද් වහාම නැගිටගන්නට තැත් කළත් ඊට මත්තෙන් මහ රජුන් ඔහු වෙතට නැඹුරු වූයේය.
"ඔහොම- ඔහොමම ඉඳපන්!" ගොරහැඬි හඬ ඇසුණේ මුලින් වුවත් රජුන්ගේ මුහුණ රසුද් වෙත එල්ල වූයේ ඊට මඳකට පසුවය...
රජුන් තරුණ වයසැත්තෙකු බව රසුද් අසා තිබිණි. ඉතා ලාබාල වයසින් රජ වුවද රජෙක් ලෙස ඔහුගේ පාලනය පිළිබඳ රටවැසියාට තිබුණේ මහා ඉහළ භක්තියක්වත්, පහත් හැඟීමක් වත් නොවිණි... ඔහුගේ රටේ ජනතාවට ගැටලු අවම කරගෙන ජීවත් වීමට හැකියාව ලැබිණි... නමුත් ඇසූ පමණින් ම රජුන්ගේ පෞද්ගලික දිවියනම්....
"උබ ගෑනියෙක්දැ?" යි රජුන් විමසද්දී ඒ විචක්ෂණ දෙනෙත ඔහු විනිවිද යන බව රසුද් නිරීක්ෂණය කළේය...
රසුද් බිම හිඳ බිම බලාගෙනම ඔලුව දෙපසට වැනූයේ එසේ නොවන බව හැඟවීමට වුවත් රජුන්ගේ තියුණු බැල්මට එරෙහිව හිස එසවීමට තරම්වත් සවියක් ඔහුට නැත... අනෙක් අතට තමා කාගේ කවුදැයි හඳුනාගන්නට රජුන්ට හැකි වුවහොත්, මෙය මෙසේ කෙලවර නොවන බවද රසුද් දැන සිටියේය...
"උබ පිරිමියෙක් කියලා හිතන්ටත් අමාරු නෙ බොල! තව්තිසාවෙන් බැහැපු දෙවඟනක් වගේ!" රජුන් එය මහ හඬින් කෑ ගසා කීවක් නොවිණි. බොහෝම රහසිගත ලෙස රසුද්ට පමණක් ඇසෙන මානයට එය මිමිණූ රජුන් නැවත නැගිට සිටියේය...
"මෙහෙ වරෙල්ලා! මේකාව පල්ලේ වාහලට එක්කගෙන පලයල්ලා..." කාටදෝ රජුන් අණ කරනවා ඇසෙද්දී කිහිප දෙනෙක් දුවගෙන එන හඬත් ඔහුව නැගිටුවන ආකාරයත් අන්ද මන්දව රසුද් ඉවසා සිටියේය... කුමක් නමුත් සිදුවන්නේ හොඳක් නොවන බව දැන සිටින්නට තරම් රසුද්ගේ බුද්ධිය පුළුල්ය...
කිමද ඔහුව රැගෙන යන්නට අණ කළේ සිරගෙට නොවන නිසාත්, පල්ලේ මාලයට නිසාත් තමා මියැදුණානම් මීට වඩා අගනා බව ඔහු සිතන්නට ගෙන තිබුණි...
මෙහි හොඳක් දැනෙන්නේ නැත... පල්ලේ වාහල, ඔහුට සුදුසු තැනක් ලෙස ඔහු නොදැක්කේය...
___________
ඔබේ අදහස් දැක්වීමේ වේගයට මාගේ අප්ඩේට් දීමේ වේගය අනුලෝමව සමානුපාතික වන බව කරුණාවෙන් සලකන්න...
ආයෙම ඉක්මනට එන්නම්... මේක ඉක්මනට ඉවර වෙනවා....
YOU ARE READING
අභිලාශ | Historical BL Short Story (Ongoing)
Short Story"උබ පිරිමියෙක් කියලා හිතන්ටත් අමාරු නෙ බොල! තව්තිසාවෙන් බැහැපු දෙවඟනක් වගේ!" "මෙහෙ වරෙල්ලා! මේකාව පල්ලේ වාහලට එක්කගෙන පලයල්ලා..." මෙහි හොඳක් දැනෙන්නේ නැත... පල්ලේ වාහල, ඔහුට සුදුසු තැනක් ලෙස රසුද් නොදැක්කේය... ඇරඹුම: 2024.05.06