09

335 39 14
                                    

ඇගේ පියා මියයන විට ඕ දස හැවිරිදිව උන්නා ය. සිය වැඩිමහල් සොහොයුරිය සහ කුඩා නැගණිය සමඟ පියා නැවත ඒ යැයි රෑ පහන් වනතුරු මඟබලා සිටි දවස් පිළිබඳ ඈට දැන් ඇත්තේ බොඳව ගිය තිර පටක මෙන් වූ අපැහැදිලි මතක ගොන්නකි. පියාගේ නොවෙනස්වන සුරතලිය වූ ඈ ඔහු මිය ගිය දා පටන් සිතින් ඔත්පල වූවා ය.

සියල්ල කණපිට ගැසෙන්නට පටන් ගත්තේ සිය මවගේ දෙවෙනි විවාහයත් සමග බව ඇගේ මතකයේ රැඳී ඇත. පියා මිය ගොස් වසරක් ගත වීමටද ප්‍රථමයෙන් මව වෙනත් විවාහයක් කරා යාම ඇගේ බලවත් කෝපයට මෙන්ම සංවේගයට හේතු වූ නමුදු සිය වැඩිමහල් සොහොයුරිය ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ නිසාත් කුඩා නැඟණියට යන්තන් සිව් අවුරුද්දක් වූ නිසාත් ඇගේ දෝෂාරෝපණ බල රහිත කිරීමට මව සමත් වූවාය.  එහෙයින් සුළු පියාගේ පැමිණීම අකමැත්තෙන් වුවද ඉවසා සිටීමට ඇයට සිදු විය.

ඇය බලාපොරොත්තු වූවාටත් වැඩිය  මව වෙනස් වීමට ගත්තේ එකඳු වැහි වළාවක් නැති අහසින් පොද වැස්සක් වැටෙන්නාක් සේය. ඔවුන්ට කොතෙක් කාරුණික වූත්, දයාබර වූත් මව ඇසුරු සැණින් ඔවුන් වෙත දමා ගසන තරම් විප්‍රලම්භයකට ගොදුරු වූයේ කෙසේදැයි කුඩා දැරිය නොදත්තාය. නමුත් එතැන් පටන් තම දිවිය අඳුරුව යන බව පමණක් ඕ යන්තමින් වටහා ගත්තාය.  සුළුපියා ගේ අනියම් ඇසුරක් හේතුවෙන් කොතෙකුත් ඔහු හා රණ්ඩු දබර වූ මව ඇගේ තරහව සහ ශෝකය කුඩා දැරියන් මතින් යැවීමට පසුබට වූයේ නැත.

ඇගේ වැඩිමහල් සොහොයුරිය සිය පෙම්වතා සමඟ පැනයන්නේ ඔය අතරවාරයේය. සිය එකම පිළිසරණය නොමැතිව අසරණ වූ ඇය කුඩා නැගණියට දෙවැනි මවක වීම ආරම්භ කළාය. එවකට පසළොස් වියේ වූ ඈ සිය දිවිය නැගණිය වෙනුවෙන්ම කැප කිරීමට පටන් ගත්තාය. නිවෙස්නෙත් උදේ අහරේ පටන් රෑ නින්දට යනතුරුම ඈ නොයෙක් වැඩ වල නිරත වූවාය. තවද ඈ සිල්ලර කඩයක්ද දමාගත්තේ නිවසේ වූ අනේකවිධ ආර්ථික ප්‍රශ්නයන්ටද පිළියමක් ලෙසිනි.

මවගේ විප්‍රකාරත් ඉවසමින් නැගණියගේ සියලු කටයුතුත් නොපිරිහෙළා ඉටු කරමින් ඈ කටයුතු කළ නමුත් ඇයට ඇගේ ජීවිතය මඟහැරී ඇති බව ඇයට දැනෙන විට බොහෝ කල් ගතවී හමාරව තිබුණි. සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වූ ඈ ගණන් සාමාර්ථයක් පසුව ලබාදෙන බව පවසා උසස් පෙළ කිරීමට පාසලෙන් ඉල්ලූ නමුත් ඇයට ඒ සඳහා ඉඩක් ලැබෙන්නේ නැත. ඉදිරියක් ගැන සිතීමට මූල්‍යම අතින්ද ශක්තිමත් නොවූ නිසා ඈ තම සියලු සිහින බොඳ කරමින් අවසානයේදි රැකියාවක් සඳහා යන්නේ තමාට නැතත් නැගණිය හෝ ජීවිතය දිනිය යුතුය යන කල්පනාවෙනි. කාලයක් ඈ රැකියාව හොඳින් කරගෙන ගිය නමුත් ඊටද කණකොකා හැඬලීමට පටන් ගත්තේ සිය ස්ථාන ප්‍රධානියාගේ ලිංගික ඇරයුම් ප්‍රතික්ෂේප කිරීමේ ඵල විපාක ලෙසින් ය. සුරූපිනියක නොවූවද ඇහැට කනට පේන රූපයක් තමාට ඇති වග ඕ දැන ගත්තේ යන්තමින් මල්වර විය පසුකළ ගමන් බැල්ම දමන පිරිමින් නිසාය. පෙම් සබඳතාවල නොබැඳී නැගණිය ආරක්ෂා කිරීමට ඇය ඉටා ගත්තේ වැඩිමහල් සොහොයුරිය නිවසින් පිටවූ දා පටන්ම ය.

ශ්වේත (GL) Where stories live. Discover now