3

194 42 10
                                    

මෙලොව සිහියක් නැතුව ඉස්සරහට දුවගෙන ගිය සැඩීට එයාගෙ ඉස්සරහට වේගෙන් ආව බයිසිකලය පෙනුණේ අන්තිම තප්පරයෙදි. දුවගෙන ආපු වේගෙන්ම පැත්තකට පනින්න සැඩී උත්සහ කළත් ඒකට පරක්කු වැඩියි.
"ආව්ව්ව්ව්ව්ව්ව්ව්...." බයිසිකලයේ වැදිල තමන්ව පැත්තකට විසි වෙද්දි සැඩී බෙරිහන් දුන්නා.

ටික වෙලාවක් යනකොට තමයි එයාට තේරුණේ ඒක බෙරිහන් දෙන්න තරම් ලොකු ඝට්ටනයක් නෙවෙයි කියලා. ඒක නිකම් සයිකලයක්නේ, සැඩීට මහ ලොකු තුවාලයක් කරන්න ඒකට හැකියාවක් නැහැ. කොහොම වුණත් බයිසිකලය පැදගෙන ආපු පිරිමි ළමයට නම් ටිකක් අමාරු ඇති කියල සැඩීට හිතුණෙ, ඔහු තාම මුනින් අතට වැටිච්ච විදිහටම වැටිල ඉන්නව දැක්කමයි.
පස්ස බිම වැදිච්ච තැන අතගාමින් හෙමින් නැගිට්ට සැඩී පිරිමි ළමය ළඟට ගිහින් ඔහුගෙ උරහිසට තට්ටුවක් දැම්මා.

"හේයි, ඔයා හොඳින්ද?" සැඩී ඇහුවෙ හිත ටිකක් නොසන්සුන් වීගෙන එද්දියි.

ලේ සුවඳ!

සැඩී කටෙන් හුස්ම ගන්න උත්සහ කළත් මේ වෙද්දිත් එයාගෙ නහයට ලේ සුවඳ දැනිල තිබුණ නිසා ඒක එච්චර සාර්ථක උපක්‍රමයක් උණේ නෑ. සැඩී එක අතකින් තද කරල නහය වහගත්තා. ඒ අතරෙම එයා අනික් අතින් පිරිමි ළමයගෙ උරහිස අල්ලල තදින් හෙලෙව්වෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්.

"මේ බලන්න, ඔයා හොඳින් නේද? ඔයාට ඔළුව උස්සන්න පුළුවන්ද?"

පිරිමි ළමය කිසිම උත්තරයක් දුන්නෙ නෑ.

"ඔයා මැරිල නෑ නේද?" සැඩී හිතේ බයෙන් ඇහුවා.
පිරිමි ළමය දුර්වල කෙඳිරියක් නැගුවා. සැඩීට ඒ කෙඳිරියෙන් එක දෙයක් පැහැදිලි වුණා, ඔහුගෙ ඔළුව බොහොම තදින් පොළවෙ වැදිල තියෙනවා.

සැඩී කලබලයෙන් වටපිට බැලුවා. පේනතෙක් මානෙක කවුරුත් හිටියෙ නෑ, ඒක ටිකක් අස්වාභාවිකයි කියලා සැඩීට හිතුණෙ, එයාගෙ කළින් ඉස්කෝලෙ නම් මේ වගේ සෑහෙන පරක්කු වෙලා වුණත් ඉස්කෝලෙ එන ළමයි ඕනෙ තරම් හිටිය නිසා. අනික් අතට, මේ නිව්යෝර්ක් නෙවෙයිනේ.

"සමහරවිට චිකාගෝවල ළමයි වෙලාවටම වැඩ කරන අය වෙන්න ඇති." සැඩී අඩක් කේන්තියෙනුත්, අඩක් කලකිරීමෙනුත් හිතුවා. "එහෙම නැත්තං සුපුරුදු පරිදි මගේ අවාසනාව හයි ලෙවල් එකට නැගල ඇති. කොහොමින්හරි දැන් මේ කොල්ලව ඉස්පිරිතාලෙකට අරන් යන වැඩේ කරන්න වෙන්නෙ මට තනියම."

Healing PowersWhere stories live. Discover now