4

194 37 3
                                    

ජිමින් එයාගේ සගයින් එක්ක පාසලට ඇතුළු වෙනකොටම වටේපිටේ හිටපු සියලු දෙනාගේම අවධානය එයාලා වෙතට යොමු වුණා.

ගෑණු ළමයින් හුස්ම ඉහළට අදින ආකාරයත්, පිරිමි ළමයින් ඊර්ෂ්‍යාවෙන් හෙළන බැලුමුත් හයදෙනාට පැහැදිලිව පෙනුණා. මේක එයාලාට අතිශය සාමාන්‍ය අත්දැකීමක්. කොල්ලො හයදෙනා වටපිට බැලුවෙ උදාසීන ලෙසින්.

"මේක ඇතුළෙ කොතනක හරි එයා ඉන්නවා." ජිමින් උදාසීන ලෙසින් තමන්ගෙ පිරිස දිහාවට හැරෙමින් කිව්වා. "එයාට අපි ආව බව දැනිලයි ඇත්තෙ, ඒ නිසා එයාව අල්ලගන්න ටිකක් අමාරු වෙයි."

කොල්ලො ටික නිහඬවම හිස සැලුවා.
"කොහොම වුණත්," ජිමින් දිගටම කියාගෙන ගියේ එයාලගෙ වටේ ඉඳන් වෙන වැඩවල ඉන්නව වගේ පෙන්නමින්, ඔවුන්ගෙ කතාවට  හොරෙන් කන් දෙමින් ඉන්න කෙල්ලන්ව තඹේකට මායිම් කරන්නෙ නැතුවයි. "එයාට වැඩි කාලයක් හැංගිලා ඉන්න බැරි වෙන තැනට වැඩ කරන්න. මේ සෙල්ලම ඉවර කරපු ගමන්, අපිට අපේ ඇල්ෆව හොයන්න යන්න තියෙනවා."

හදිසියේම කොල්ලන්ගෙ මූණුවල තිබුණු දීප්තිය නැති වෙලා ගියේ, සෝබර බවක් ඒ මුහුණු වසාගනිද්දියි.

ඔවුන්ගෙ සැබෑ ඇල්ෆා වුණේ කිම් නම්ජූන්. ජිමින් හිටියෙ බීටා විදිහටයි. අර්ධ වැම්පයර් ගැන හොයල බලන්න නම්ජූන් ඇමෙරිකාවට ආවෙ මීට මාස කිහිපයකට කළින්. ඔහුගෙන් පිරිසට ලැබුණ අවසන් පණිවිඩයෙන් කියවුණේ,
"අර්ධ වැම්පයර්ව මම හොයාගත්තා. තත්ත්වය අපි හිතුව තරමටත් වැඩිය නරකයි. එයාලට තියෙන ලොකුම ආරක්ෂක ක්‍රමය තමයි සුවපත් වීමේ බලය! ඒ නිසා අපිව පරද්දන්න එයාලට තියෙන අවස්ථාව වැඩියි. අපිට වගේම එයාලටත් ලේ ඉවසන්න අමාරුයි. අවාසනාවට, එයාලට අපිට තරම් ආත්ම ශක්තියක් නෑ. චිකාගෝවල අධික ලේ වහනය වීම් නිසා වෙන හදිසි මරණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනව, මං ඊළඟට යන්නෙ එහෙට. මං හිතන දේ ඇත්ත නම්, ඒ කියන්නෙ එයාල අපිට විරුද්ධව සංවිධානය වෙන ගමන් ඉන්නේ. මං විශ්වාස කරනවා එයාලගෙ නායකය ඉන්නෙ චිකාගෝවල කියලා, ඒ වගේම බොහෝදුරට.....ඒ නායකය ගෑණු ළමයෙක් වෙන්න තියෙන ඉඩ වැඩියි." කියලයි.

ඉන්පස්සෙ නම්ජූන් ගැන කිසිම ආරංචියක් නැතුව ගියේ, හරියට ඔහු එකපාරටම මහ පොළවෙන් වාෂ්ප වුණා වගෙයි. කොල්ලන්ට හැකි ඉක්මණින් ඇමෙරිකාවට එන්න අවශ්‍ය වුණත්, ජිමින් තමන්ගෙ කණ්ඩායමේ අනික් සාමාජිකයන්වත් නැති කරගන්න කැමති වුණේ නෑ. අනික් අතට, ඔහුට නම්ජූන් සොයාගැනීමේ අවශ්‍යතාව තදින්ම දැණුනා. නම්ජූන් තමයි ජිමින්ගෙ සමීපම සහෝදරයා වුණේ.

"හ්යොන්ග්ට මුකුත් වෙලා නැතුව ඇති නේද?" දුක්බර ලෙස ප්‍රශ්නය නැගුණේ ජන්කුක්ගෙන්.
"අපි අනිවාර්යෙන්ම එයාව හොයාගමු." ජිමින් දිවුරුම් දුන්නෙ ජන්කුක් දෙස බලමින්.

______________________________

සැඩී පිටුපස හැරී බැලුවෙ අමාරුවෙන්. හැරිල බැලුවම සැඩී දැක්කෙ අළු පාට ඇස් දෙකක් ඇති කඩවසම් කොල්ලෙක් තමන් දිහා පරීක්ෂාකාරීව බලන් ඉන්න හැටියි.
"අනේ ඔව්, කරුණාකරල!" සැඩී උත්තර දුන්නෙ ස්තූතිවන්ත බැල්මක් හෙළමින්.

ඔහු ඉස්සරහට ඇවිත් පිරිමි ළමයගෙ අඩපණ ඇඟ තමන්ගෙ ඇඟට වත්තන් කරගත්තා. සැඩී උදවු කරන්න හැදුවත් ඔහුට උදවු අවශ්‍ය බවක් පෙනුණෙ නැහැ.

"කමක් නැහැ මට පුළුවන්." සැඩී උදවු කරද්දි ඔහු කිව්වෙ මඳ සිනාවක් පාමින්. "මේ පේනවට වැඩිය මම ශක්තිමත්."
"පම්පෝරිය!" සැඩී මඳක් නොරිස්සුමෙන් හිතුවා.
ඊටපස්සෙ මඳ හිනාවක් මූණට නගා ගනිමින් සැඩී හිස වැනුවා. "හොඳයි ඔයා කියනව නම්."

"කොහෙටද ඔයා මෙයාව ගෙනියන්න හදන්නෙ?" තමන්ගෙ අළු පැහැ දෑසින් ගැඹුරු බැල්මක් සැඩී වෙතට හෙළමින් පිරිමි ළමයා ඇහුවා. "හොස්පිට්ල් එකකටද?"
"නැහැ. මගෙ ගෙදරට."

පිරිමි ළමයා ප්‍රශ්නාර්ථ බැල්මක් හෙළුවා. "ඔයාගෙ ගෙදර මේ ළඟද තියෙන්නේ?"
"ඔව්, තව ටික දුරයි."
"හරි එහෙනම්, ඔයා ඉස්සර වෙන්නකෝ."

ඔහු කී දෙයට හිස වැනූ සැඩී පෙරමුණ ගත්තා. තුවාල වූ පිරිමි ළමයාවත් ඇඟට හේත්තු කරගෙන වුණත් අනික් පිරිමි ළමයා ඉදිරියට ආවෙ සැහැල්ලුවෙන්. ඔහුට මේක ඒ තරම් කජ්ජක් නොවන බව පෙනුණා.

මිනිත්තු 10ක් විතර ගත වෙද්දි එයාලා ගෙදර ඉදිරිපස ගේට්ටුව වෙතට ළඟා වුණා.

"මේක තමයි ගෙදර." කියමින් සැඩී ගේට්ටුව ඇරියා.
"ෂාහ්....මාර පෙනුමක්නෙ මේ ගෙදරට තියෙන්නෙ." කියමින් පිරිමි ළමයත් ඇය පසුපස්සෙන් ආවා.
"ඔව්." සැඩී කෙඳිරුවෙ ලැජ්ජාවෙන්.

සැඩීගෙ ආච්චි ගෙදර ඉදිරිපස පෝටිකෝවෙ හාන්සි පුටුවකට වෙලා සැප නින්දක් දාගෙන හිටියා. ඒත් ඔවුන්ගෙ සද්දෙත් එක්කම ආච්චි හිස ඔසවල බැලුවා. තුවාල වුණ පිරිමි ළමයා දකිද්දි ආච්චිගෙ ඇස් ලොකු උණා.
"මොකද වුණේ?" ශබ්ද නගා අසමින් ආච්චි පුටුවෙන් නැගිට්ටා.

Healing PowersWhere stories live. Discover now