" උඹට ඇත්තටම විශ්වාසයිද ? " අනෙකා තරුණයාගෙන් විමසුවේය.
" මොනාද ? "
" අපි ඇත්තටම මේ අල්ලං ඉන්නෙ එළවළු හොරාමයි කියල ? "
" හිතාගන්න බෑ බං.. "
" හෙට වෙද්දි මූ මළොත් ! "
" වළදාල නිකං ඉමු.. "
" හදිස්සියෙවත් මැරුන්නැත්තම් ? "
" පයින් පාරක් දීල එළියට දාමු.. වැඩේ ඉවරයිනෙ.. "
" ඒත් මේ ඉන්නෙ ඇත්තම හොරා නම් ? "
" යකෝ ! " තරුණයා වහා මොර දුන්නේය.
" හරි, හරි, කේන්ති ගන්න දෙයක් කිව්වෙ නෑනේ.. "
එදින එලෙසින් ගෙවී ගියේය.
පසුදා තරුණයා සූදානම් වූයේ තමා විසින් ප්‍රතිකාර කළ තුවාලකරුගේ තත්ත්වය පිරික්සීමටය.
තුවාලකරු තවමත් පෙරදා වැතිරවූ අයුරින්මය.
ඔහු හුස්ම ගන්නා බවක් පෙනෙයි. එසේ නම් මියගොස් නොමැති සෙයකි.තරුණයා වැතිර සිටි ඇවිදයන්නා වෙත සමීප වී පොරෝනය මෑත්කර ළය නිරාවරණය කොට වෙළුම් පටි ලිහා දමන්නට විය.
එම වෙළුම් පටි නැවතත් ප්‍රයෝජනයට ගත හැකි අයුරින් ඉතා පවිත්‍ර තත්ත්වයේ විය.
ඔහු යෙදූ ඖෂධයෙහි ප්‍රතිඵලයක් ලෙස හීයෙහි හිස තුවාල කුහරය තුළින් ඉහළට මතුවී තිබිණි.
තරුණයා එය ආයාසයකින් තොරව ගලවා පසෙක තැබීය.වේදනාවක සේයාවකදු ඇවිදයන්නාගේ මුහුණෙහි නොවීය. නොමියුණු බව පෙනුනද මෙම පුද්ගලයා කිසිදු හැඟීමකින් තොරව සිටින්නේ කෙසේදැයි යන්න තරුණයා වෙත වූ පැනය විය.
එය පුදුමය දනවන කරුණක් වුවද තමන් එය විමසිය යුත්තේ කෙසේදැයි ඔහුට සිතාගත නොහැකි විය.
මන්ද තවමත් හැඟීම් දැනීම් නොමැති මිනිසා නිසොල්මනේ වැතිර සිටියි." මුට කොහොමද ? " තරුණයාගේ සහචරයා විමසුවේ ඇවිදයන්නා දෙස බොහෝ වේලාවක් බලා සිටින තම මිතුරාගෙනි.
" පණ තියේ, ඒත් සිහි නෑ.. "
" යමන් හේනට, අද මොනා නැතිවෙලා තියෙයිද දන්නෑ.."
" හොරා දැන් අපි ළඟ රැයක් පුරාම. කොහොමද බං තව හොරකං වෙන්නෙ.. "
" ඒක තක්කෙටම කියන්න බෑනෙ.. මුගෙ තව එවුන් ඉන්නවද දන්නෑනෙ අනික.. "
" එතකොට උඹ ඊයෙ රෑ හේනට ගියේ නෑ ? "
" නෑනෙ.. ඒ හින්දනෙ බං දැන් යමුයි කියන්නෙ.."
තරුණයා වහා නැඟිට යන්නට වූයේය.
" ඔය යනවද, මේකාට මොකෝ කරන්නෙ ? "
" ඌ හිටියාවෙ.. මං යනව ! "
" අපි නැති අතරෙ මූ පැනගත්තොත් ? "
නැවත හැරුණු තරුණයා වේගවත් ගමනින් යුතුව පැමිණියේ කෝපයෙන් දැවෙන මුහුණිනි. වැතිරහුන් තුවාලකරු කර තබාගත් ඔහු තම නිවසින් එළි බැස්සේය.
" යකෝ.. ඔහොම හිටපං, මුගෙ ඇඟේ නූල් පොටක් නෑ.. ඕකාට මොනාහරි පටලවං යමු, මේ.. පාරෙ මිනිස්සුත් ඉන්නව.. "
එහෙත් තරුණයා වෙත ඒ කිසිවක වගක් නොවේ. ඔහු කඩිනමින් වනය වෙත පිවිසෙන්නට විය. ඔහුගේ සහචරයා තවමත් බොහෝ දුරය.
වනපෙතෙහි වැටුණු මං ඔස්සේ ඔහු තම හේනට වූයේය. කර තබාහුන් පුද්ගලයා කිසිදු සිහියකින් තොරව බිමට දැමූ ඔහු තම හේන පුරා යමින් පරික්ෂාවේ යෙදෙන්නට විය.එසේ වේලාවක් ගතකොට ඔහු පැමිණියේ තම හේනෙහි සකසා තිබූ කුඩා මඩුව තුළටය.
ඒ වන විට ඔහුගේ සහචරයාත් සිහිවිසඥ ඇවිදයන්නාත් එය තුළ සිටියෝය." මොකෝ වෙලා තියෙන්නෙ, ඊයෙත් හොරු පැනලද ? "
තරුණයා නිවෙසින් පිටවන විට වූ කෝපය නිවී ගොස් ඇති බව පෙනෙන්නට විය.
" නෑ, මොකකවත් අඩුවක් නෑ.."
" ආ.. ඒකනෙ මං කිව්වෙ. මූ තමයි එතකොට එළවළු හොරා, ඒ වගේම මූ විතරයි හොරෙක්ට කියල ඉන්නෙ..."
" මට මතක නෑනෙ උඹ කියපු එහෙව් කතාවක් ගැන.. "
" එතකොට දැන් කිව්වෙ ඒක නෙවෙයි ? "
තරුණයා නොරිස්සුමෙන් දෑස් වසාගත්තේය.
" හරි දැන් හොරාව අහුවුණා.. මොකද්ද මූට කරන්නෙ ? "
" රෑ වෙලා බලාගමු.. "
YOU ARE READING
මල් මිටක්
Historical Fictionමේ මං ලියන පළවෙනි කතාව. ඔයාල මගෙ කතාවට කැමතී නම් කියන්න හොඳේ, අකමැතී නම් ඒකත් පැකිලෙන්නැතුව කියන්න. ඔයල කතාව කියවල අනිවාර්යයෙන් comment එකක් දාගෙනම යන්න . ඒක මට ලොකු සතුටක් වගේම ලොකූ ශක්තියක් . ස්තුතියි.