මඳ මොහොතකින් කන්ද මත සිට දෙදෙනෙකු දිව ආහ.
" මොකක්ද ඒ කරපු පාහර වැඩේ. මං කිව්ව ඒ අපි හොයන එකා නෙවෙයි කියල. මේ මිනිහ දැන් මැරිලද දන්නෙත් නෑ.." පොළොව මත වැතිර හුන් ඇවිදයන්නා ඉදිරියේ නැවතී සිටි පුද්ගලයෙකු කෑගසන්නට විය.
" හහ්.. තමුසෙ කොහොමද කියන්නෙ මේ ඉන්නෙ එළවළු හොරා නෙවෙයි කියල. දැන් මේකා නොමැරි ඉන්න නම් කොහෙත්ම බෑ, මගෙ ඉලක්කයක් වැරදෙන්නෑ කවදාවත්. හොඳ වැඩේ හොරකමේ එනවට.. " දුන්නක් අල්වාගෙන හුන් තරුණයෙක් අනුකම්පා විරහිත ලෙස උදම් අනන්නට වූයේය.
ඇවිදයන්නා වෙත නැවුණු හේ, " කෝ බලමු අපේ එළවළු හොරාගෙ මූණු පොඩිත්ත පොඩ්ඩක්.." සමච්චල් සහගත ලෙස පවසමින් යටිකුරුව වැතිර හුන් ඇවිදයන්නාගේ උරහිසින් අල්වාගෙන අනෙක් අතට පෙරලීය.
ඇවිදයන්නාගේ ළය මත හීයක කැබැල්ලක් රැඳී තිබිණි. කඳු පල්ලමේ පෙරලී යාම හේතුවෙන් හී දඬුව කැඩී තිබූ අතර හීයේ තලය ළය තුළට පමණටත් වඩා කිඳා බැස තිබිණි.
" ඈ.. මේක වෙන්නෙ කොහොමද, මේ මනුස්සයට හීය වැදිල තුවාල වෙලා තියෙද්දිත් ලේ ඇවිත් නෑනෙ.. මේකා මොන වගේ සතෙක්ද ? " අනෙකා විශ්මයෙන් යුතුව පවසමින් ඇවිදයන්නා අසලින් හිඳ ගත්තේය.
තරුණ දුනුවායා වෙත නම් එහි වගක් නොවූ සේය. හේ සෙමින් සෙමින් ඇවිදයන්නාගේ මුහුණ අසලට එක් හස්තයක් ගෙන ගියේය.
" ඒයි, අල්ලන්නෙපා මෝඩයා.. මේකා එකපාරටම තමුන්ගෙ අත කඩාගෙන කැලේට පැන්නොත්.." අනෙකා එසේ පවසමින් තරුණයාගේ හස්තය මතට පහරක් ගසා අනතුරු හඟවන්නට විය.එකිනෙක යාවූ දෙවැමින් යුතුව නොරිස්සුම් සහගත බැල්මක් ඔහු වෙත හෙලූ තරුණ දුනුවායා " මූ මැරිල ඉවරියි. තවත් මොනාද බයවෙන්න තියෙන්නෙ." යැයි පවසා නැවතත් ඇවිදයන්නා වෙත තම දෘෂ්ඨි පථය හැරවීය.
හේ තිගැස්සී ගියේය.
කුණු, මඬ, දූලි තැවරී අපවිත්ර වූ වතෙහි දුබල මුත් කාන්තිමත් වූ ඒ දෙනෙත් විවර වී ඇත. ගුරුවර්ණ තාරා මණ්ඩල තුළින් තද කලු පැහැති කණිනිකා පෙනිණි.
තිගැස්ම පහව ගියේය. තරුණ දුනුවායාගේ අපරිණත උවන අනෙකා වෙත වූ වශීකෘත බවින් මත් වන්නට විය.
YOU ARE READING
මල් මිටක්
Ficción históricaමේ මං ලියන පළවෙනි කතාව. ඔයාල මගෙ කතාවට කැමතී නම් කියන්න හොඳේ, අකමැතී නම් ඒකත් පැකිලෙන්නැතුව කියන්න. ඔයල කතාව කියවල අනිවාර්යයෙන් comment එකක් දාගෙනම යන්න . ඒක මට ලොකු සතුටක් වගේම ලොකූ ශක්තියක් . ස්තුතියි.