සියළු ආරවුල් හමාර වී ගම්පතිතුමාගේ නිවස වෙත පිය නඟන විටදී මඳින් මඳ ආලෝකය ආකාශය පුරා නෙකවිද වර්ණ රටා මවන්නට විය.අඳුරත් ආලෝකයත් මැද දම් පැහැ වළාවෝ තාරකා වසා දමා අකාශය පුරා පැළ පදියම් වූහ.
ඒ අතරින් මහා උසැති කඳුගැට කිහිපයක් තම ශීර්ෂ වටා මිහිදුමින් වසා සිටියි.
එම මිහිදුම විනිවිද පැමිණි සූර්යාලෝකත් සමඟ කඳු හිස් යාන්තමින් පෙනෙන්නට විය.
මඳ සුළං රැළි හා පාවී යන ඉද්ද බීජයෝ රජත වර්ණයෙන් දිදුලද්දී රන්වන් හිරු රැසින් දිදුළන ශ්වේත වර්ණ කොකුන් රෑන් සැදී අහසේ පියා සලන්නට වූහ.
ඇවිදයන්නාත් ගම්පතිතුමා හා ඔහුගේ දියණියත් පැමිණියේ කඳුකර ගම්මානය දෙකොටසකට වෙන් කරන්නාවූ ප්‍රධාන ගංගාව හා එහිම කුඩා අතු ගංගාවක් යාකොට තැනවූ දිය අගල වෙතය.
" මගේ නිවසට යාමට මෙම දිය අගල පසුකළ යුතුයි. " යැයි පැවසූ ගම්පතිතුමා දිය අගල අසල වූ තොටුපළ වෙත ගොස් එහි වූ පහුරකට ගොඩ වූයේය.
" මාව බිමින් තියන්න අප්පච්චි..." යැයි මේ වන විට අවදිව හුන් ගම්පතිතුමාගේ දියණිය දෑත් දෙපා ගසමින් කෑ ගසන්නට වූවාය.
ගම්පතිතුමා " හා... හා... හා... වැඩිය සෙල්ලං අත් තියන්න ආවොත් දානව අගලට කිඹුල්ලුන්ගෙ උදේ බතට.. " යැයි තම දියණිය පහුර මත තබමින් සරදම් කළේය.
" අනේ..! මං බයා....යි " යැයි සමච්චල්සහගතව පැවසූ දැරිය පහුර ඉස්මත්තට ගොස් නැවී අගල් දියෙහි දෑත් දමාගෙන දිය කළඹවන්නට වූයේ කෙළිලොල් ලෙස.
" මේ පොඩි එකී මෙච්චර පොඩියට ඉද්දි මෙහෙම නම්, පීදිච්ච කාලෙකට කොහොම වෙයිද.. " ගම්පතිතුමා මැසිවිල්ලක් පැවසූයේ සේ.
පහුරට ගොඩ වූ ඇවිදයන්නා සිනා සී වටපිටාව දෙස බලමින් කලකට පසු පැමිණි කඳුකර ගම්මානයේ අසිරිය විඳින්නට වූයේය.
එවිටම දිව ආ තරමක් මහළු මිනිසෙකු " අනේ..ගම්පතිතුමා, ඇවිදිල්ල බොහෝ වෙලාද මන්ද " යැයි පවසමින් සැණෙකින් පහුරට ගොඩවී හබල ලෙස යොදාගන්නා උසැති උණ ගස දියෙහි දමා පතුලට ඇන වාරුව ගනිමින් පහුර පදවන්නට විය.
YOU ARE READING
මල් මිටක්
Ficción históricaමේ මං ලියන පළවෙනි කතාව. ඔයාල මගෙ කතාවට කැමතී නම් කියන්න හොඳේ, අකමැතී නම් ඒකත් පැකිලෙන්නැතුව කියන්න. ඔයල කතාව කියවල අනිවාර්යයෙන් comment එකක් දාගෙනම යන්න . ඒක මට ලොකු සතුටක් වගේම ලොකූ ශක්තියක් . ස්තුතියි.