හසරින්ද ඔෆිස් එකට ඇවිත් මාස දෙකක් වෙන්නත් ආවා. දැන් නම් හසරින්ද ට එහෙම කියන්න තරම් ලොකු අවුලක් නැහැ. ෂේප් එකේ වැඩ ටික කරගෙන යනවා.
තවත් එක දවසක් පටන් ගත්තා. මේ මාර්තු. ඔෆිස් එකේ වැඩ වැඩිම කාලෙ. හැමෝම හුස්ම ගන්නෙවත් නැතුව වැඩ.
ඒත් අද නම් සසංක ට ඔෆිස් යන්න වෙන පාටක් නැහැ වගේ.
මොකද ඊයෙ රෑ ඉඳන්ම සසංකට වමනෙ යනවා ඉවරයක් නැහැ. මේ දවස් ටිකේම වැඩ වැඩි නිසාම හරියට කන්න බොන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැ නෙ.
ඇඟේ තියෙන අන්තිම ශක්තිය බිංදුවත් එකතු කරන් නැගිටින්න ගියත් අනිත් අතට සසංකව ඇඳට වැටුණේ එච්චරටම එයා දුර්වල වෙලා හිටපු නිසයි.
"අනේ චූටි බේබි පොඩ්ඩක් හරි නැගිටින්නකො මේ සුප් එක බොන්න."
ඒ සසංක ගෙ ගෙදර වැඩ කරන විමලා. ඒත් හරි ගියේම නැහැ. සසංකට හොඳටම අමාරුයි වගේ.
මේ වැඩේ නම් හරියන්නෙ නැහැ. විමලා සසංක ගෙ අක්කට කෝල් එකක් ගත්තා.
"ලොකු බේබි බලන්නකො, චූටි බේබිට හොඳටම අමාරුයි. වමනෙ යනවා ඉවරයක් නැහැ."
"හරි විමලා කලබල වෙන්න එපා. මං ඉක්මනින් එන්නම්."
දැන් ලොකු බේබි ආවම චූටි බේබිව නැගිට්ටවයි මොනවහරි කරලා. විමලාගෙ හිතට ආවෙ සහනයක්.
කිව්වත් වගේ විනාඩි 20ක් විතර යද්දි රන්දි, ඒ කියන්නේ සසංක ගෙ අක්කා සසංකගෙ අපාර්ට්මන්ට් එකට ආවා.
"අනේ පොඩී නැගිටින්නකො. මොකද මේ? කිව්වා වෙලාවට කන්න ගැස්ට්රයිටිස් හදාගන්නෙ නැතුව කියල. "
"ම්ම්හ්... ම්ම්හ්හ්හ්හ්හ්හ්..."
සසංක තවම කෙඳිරි ගගා නිදි. පව් අප්පා පොඩි එකා වගේ තවම. රන්දි සසංක ගෙ ඇඳ එහා පැත්තෙන් වාඩි වුණා.
"නැගිටින්න්කො. මේ බෙහෙත් ටික බොන්න හොඳ ළමයා වගේ."
ඒත් සසංක නම් නැගිටින පාටක් තිබ්බෙ නැහැ. රන්දි ෆස්ට් ඒඩ් බොක්ස් එක අරන් ඇවිත් උණ කට්ට අරගෙන උණ බැලුවා.
"අඩේ මේකාට උණ නේද? නැගිටින්නකො බබා. බෙහෙත් බීලා ආයෙ නිදාගමු."