දකුණු තුඩුව , ශ්‍රී ලංකාව...වැල්ල... කරාවෙ උන්ට වෙන් වුණු වෙනම ලෝකයක්...
ලොකු මහත්තුරුන්ට අයිති නැති ඒ කරිජ්ජෙ හැමදාමත් අයිතිවුණේ ඒ වැල්ලකරේ ටකරං පැල්පත්වල හෙවණ ලබපු මිනිස්සුන්ට...වැල්ලෙ ඉන්නෙ , ඕඩි හෙලෙයියට මහා විසාල දැල් ගොඩ අදින , සක්කිලි වගේ හැමවෙලේම මරාගත්තත් එකෙක්ට හරි පිටින් කරදරයක් උනොත් මරාගෙන මැරෙන්න උනත් දුවන් එන අවංක මිනිස්සු... වාචාල කටවල් තිබ්බත් නීලකංස කුනුහබ්බ අස්සෙ ආදරේ පුරෝපු මිනිස්සු...
වැල්ලට අයිතිම අව්වට තැම්බුණු , කරවල ගඳ ගහන උනත් , පිරිසිදු සුදු මිනිස්සු !!!
හරිහැටි ඉස්කෝලෙවත් යන්නැතුව හිච්චං කාලෙ ඉඳන් මූදු යන්න පුරුදු වෙලා හිටිය උන්ට උඩ පුටුවල සුදු මහත්තුරුන්ට තරම් රජ සෙල්ලම් දාන්න නොතේරුණත් , උනුත් මගෝඩි වැඩ නොකළාම නෙවෙයි...
මුහුදු රැළි නිදහස් හඬකින් වෙරළ දිගේ තියෙන රළපනාවෙ හැපෙද්දි , තුඩුවේ සාමාන්‍ය සුන්දරත්වය හැමදාමත් වගේ අදත් නොවෙනස්ව තිබුණා. ඈතින් තේජාන්විත විදිහට පේන ලයිට් හවුස් එක කිව්වෙ , මේක ලංකාවෙ දකුණ කියලා ව්‍යංගාර්ථයෙන්...
ළා තැඹ්ලි පාට රාස්සි වළාකුළු අස්සෙන් හැංගි හැංගි උඩ නගින ඉර මුහුදු නිල උඩ රිදී රටා ඇන්දේ හරි අපූරුවට... ඇහැට පේන සුන්දරත්වය නහයට නොදැනෙනවානම් ඔයා කඳුකරවාසියෙක් !! කරිජ්ජෙ සුවඳට මිශ්‍ර වුණු කරවල සුවඳට , අලුත් මාලුවල සුවඳට නහය හුරු එකාට මේක තමයි ගෙදර !!
පාන්දර වෙරළ බෝඩරේ කඩිසර උනේ මුහුදු ලිහිණියො... සුදු පාට මුහුදු ලිහිණියො මූදු රැල්ලෙ ගෑවි නොගෑවී වේගෙන් පියාඹන ගමන් ගොදුරු ඩැහැගත්තෙ හරියට, ඉර අව්ව වැටිලා වැල්ලෙ මිනිස්සු ගැවසෙන්න කලින් ගෙවල්වලට යන්න තදියමේ වගේ...
දිගට දිගට පඳුරු පිටින් වැවිලා තිබ්බ වැටකෙයියා ගස් එක්ක තිබුණු කොට්ටම්බා ගස් පෝළිම ගාවම වගේ, පෝළිමට නවත්තලා තිබුණෙ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් ලොකු මෝටර් බෝට්ටු හතරක්... ඉර පායන්නත් කලින්ම බෝට්ටු ඇතුළෙ කවුදෝ කලබැගෑනියක් පටන් අරන් තිබුණත්, ඒ හිටියෙ බෝට්ටුවල මූදු යන ධීවරයො නම් නෙවෙයි...
YOU ARE READING
සිලිලාර || NONFICTION
Não Ficçãoසිලිලාරෙන් උපන් ඔහුගේ කතාව... Cover By @Freya_Celestie