-" ඕයි අයියේ... මට පොඩි වැඩක් සෙට් උනා... වැඩේ හරි ගියොත් කොල්ලගේ මඟුල තීන්දුයි..."
දාගෙන උන්නු ඇස් කණ්නාඩි දෙකත් ගලවපු නාද් ආර්යන් දිහා බැලුවේ නළලත් රැලි කරන්..
-" මොකක්? ඒ පාර මොකද්ද? හැබැයි පුතෝ පොලීසී යන වැඩක් නම් කරලා අහුවෙන්නෙපා.."
නාද් කියද්දි ආර්යන් නාද්ගේ අතක එල්ලුනේ දත් සෙට් එකම පේන්න හිනා වෙන ගමන්..
-" බලනවකෝ ඉතින් තමුසෙගෙත් ඇඬියාවනේ.. වැඩේ ගැස්සුනොත් මතුරනවා අයියේ උබට මම.."
ආර්යන් එහෙම කියන ගමන් ආපහු වැව දිහාවට ගියේ තමන්ගේ අදහස ක්රියාත්මක කරන්න හිතාගෙන.. ආර්යන් වැව ලඟට යද්දි ආරධ්යා ආපහු යන්න ලෑස්ති වෙන ගමන් හිටියේ.. ඒ වෙද්දි උත්තරාත් ආරධ්යා එක්ක හිටියා.. අඩිය ඉක්මන් කරපු ආර්යන් ආරධ්යා ලඟට ගියේ හදවත වේගෙන් ගැහෙද්දි..
" යකෝ කොඩිවිනයක් කපද්දිවත් මෙච්චර බය උනේ නෑ.."
තමන්ටම මුමුණගන්න ගමන් ආර්යන් උගුර පෑදුවා..
-" මේහ්..! "
-" ඔව්ව්? කියන්න වෙද මහත්තයා "
ආරධ්යා උත්තර දුන්නේ සුහද සිනහවක් එක්ක..
-" ආහ් මාව මතකයිද? "
-" අපෝ අපිට අමතක වෙනවැයි ඔයා හැමදාම උදේ හවසට වලව්ව ලඟ කැරකෙනවනේ.."
ආර්යන්ගේ ප්රශ්නෙට උත්තර දුන්නේ උත්තරා..
" මේ පැහිච්ච අම්මන්ඩිටත් ඕන්නැති එකක් නෑනේ.."
ආර්යන් හිතන්නේ උත්තරා දිහා බලාගෙන..
-" ආහ්... ගනන් ගන්නෙපා මං උදේට හවසට ඇවිදිනවනේ.. මං මේ කතා කලේ මේ ලමයින්ට උගන්නන වැඩේට මමයි මගේ අයියයිත් එකතු වෙනවා කියලා කියන්න.."
ආර්යන් කියද්දි ආරධ්යාගේ ඇස් සතුටෙන් දිලිසුනේ තමන් කරන් යන වැඩේට මෙතුවක් කල් කාගෙන්වත් උදව්වක් නොලැබුන හන්දා..
-" ඒක නම් හොඳයි.. බොහොම ස්තූතියි.. මං එන්නම් වෙද ගෙදරට හවස් වෙලා.."
ආරධ්යා එහෙම කියන ගමන් ආර්යන්ට සමු දෙද්දි ආර්යන් ගෙදර ගියේ හිතෙන් උඩ පිනුම් ගහන ගමන්..