මම කෝවිලට ගියා..ශාරධාගේ කතාවට සවන් දීමෙන් පසු මගේ සිත නොසෑහෙන තරම් රිදුම් දෙන්නට පටන් ගෙන තිබුණා..
කෝවිලේ ඇතුල්වීමේ දොරටුව අසල සිට මම බලා සිටියේ ශාරධා මල් විකුණන කුඩා කඩ කෑල්ල දෙසයි..නමුත් එය අද හිස්ව තිබුණා..
කෝවිල තුළට ගොස් දෙවියන් වැඳ පුදාගෙන මම කෝවිල් අංගනයේ මදක් සක්මන් කළා..මාරුවෙන් මාරුවට සුළඟත් සමඟ මුසුව ආ හඳුන්කූරු සුවඳත්..සුවඳ දුම් සුවඳත් මගේ පෙනහැලි පුරවා දැමුවා..
පූජකතුමන්ලා යුහුසුළුව දෙවියන් වන්දනා මාන කරමින් සිටියා...තවත් පසෙක පිරිසක් ශිව ලිංගය කිරි වලින් නහවමින් සිටියා..
දෙවියන් නැහැවූ නැවුම් කිරි කෝවිලේ කාණු දිගේ ගලාගෙන යද්දී කෝවිල අසල සිඟමන් යදින මිනිසුන් කුසගින්නෙ තැවීටම හේතු සෙවීම අපහසු කාර්යයක් වුණා..දෙවියන් කෙරේ අපමණ භක්තියක් සිත තුල තිබුණද මේ සිදුවන අවැඩ ගැන මා සෑහීමකට පත් වුණේ නෑ..
පූජාවට තබන පලතුරු,කිරි ආදී සියල්ලම මහා විසාල කුණු කන්දට එක්කාසු වෙද්දී බඩට යමක් හොයාගන්නට කෝවිල ඉදිරිපිට සිඟමන් යදින මිනිසුන් කුසගින්නේම ආපසු හැරී යෑම අසාධාරණයක් සේ මට දැනුනා..
තරමක් වෙලා කෝවිලේ ගත කර මම ආපසු නේවාසිකාගාරයට යන්න හැරුණේ ශාරධාත් අද පැමිණ නොසිටි නිසායි..
නමුත්..නේවාසිකාරය වෙත පා නගමින් සිටි මට..ඒ බලාපොරොත්තු වුණ රුව දැකගන්නට හැකිවුණා..
"ශාරධා.."මම ඇයට අඬගෑවේ ශාරධාව දුටු විගසින්මයි..
මා දුටු සැටියේම ඇගේ මූණේ මන්දස්මිතියක් පැතිර ගියා..
"රාකේෂ් මහත්තයා.."ඇය මා දුටු සැටියේම මගෙ ළඟට දිව ආවේ අතේ පුරවාගෙන සිටි රතු නෙළුම් මල් පොකුරත්ද සමඟයි..
සමහර නෙළුම් මල් සම්පූර්ණයෙන් පිපී තිබුණ අතර සමහර මල් පොහොට්ටු ලෙසින් ඇගේ දෑතේ රැඳී තිබුණා..ශාරධා නෙළුම් මලක පෙති දිග අරිමින් සිටියා..
"ඇයි අද කෝවිල් ආවෙ නැත්තෙ ශාරධා.."මම ඇගේ අතේ තිබුණ නෙළුම් මලක් ගෙන විමසද්දී ඇගේ කම්මුලක් වල ගැහෙන ලෙසින් ඇය සිනාසුණා..
"මම කිළිටි වෙලා ඉන්නෙ මහත්තයා..ඒ නිසා කෝවිලට යන්න බෑ මට අද.."
ශාරධා කියන්නෙ ඔසප් වීම ගැන විය යුතුයි..ඔසප් චක්‍රයෙන් දින හතක් ගෙවෙන තුරු කාන්තාවන්ට කෝවිලට පා තැබීම දේව සාපයට බඳුන් වීමක් ලෙස සලකා තිබුණා..
"කොහෙන්ද මේ මල්?"මම ඇහුවා...
"අපේ ගෙවල් කිට්ටුව විලක් තියෙනවා..ඒකෙන් කඩාගත්තෙ..මහත්තයා බලන්න යන්න එනවද?"ඇය අසද්දි මම හිස සැලුවේ කැමැත්ත පල කරමින්..
මම ශාරධා පෙරටු කොටගෙන ඇය පසුපසින් ගමන් කළා..
___________________________
ŞİMDİ OKUDUĞUN
ශාරධා |Short Chapters [Completed]
Genel Kurguමගෙ ජීවිතේ කවදාවත් මම අසීමිත හීන දකින්නෙ නෑ මහත්තයා..මං වගේ මූසල කෙල්ලෙක්ට එහෙම හීන දකින්න අයිතියකුත් නෑ.. මගෙ එකම හීනෙ ශාන්ති නිකේතනය.. සරස්වතී මාතාවගේ ආශිර්වාදයෙන් සිතාරය වයන්න මං හරි ආසයි..