👀31 - බැක් ටු ස්කූල්

256 42 22
                                    

ආව වෙලේ ඉඳන් මං කරේ නිදාගත්තු එක. මගේ කාමරේ, මේසේ, ඇඳ, සහස්‍රා දුන්න සිලිං බිලිං එක එල්ලලා තිබ්බ නූල, මගේ ඩයරි ටික නැති හිස් කබඩ් එක දකිද්දි මට හීල්ලෙනවා. මං කරේ හැම මොහොතෙම නිදාගන්න එක.

ගෙදර ඇවිල්ලත් දවස් දෙක තුනකට පස්සේ මං ස්කෝලේ යන්න ලෑස්ති උනා.

"මං තමුසෙම වෙන ස්කෝලෙකට මාරු කරනවා"

අම්මා එදා බනිද්දි කිව්වා මට මතකයි. ඒත් අම්මා මගේ ස්කෝලේ මාරු කරලා තිබුනේ නෑ. මං පුරුදු විදියට අක්කයි නංගියි එක්ක ස්කෝලේ ගියා.

"සහස්‍රා එක්ක කතාවට යන්නෙපා"

මං ස්කෝලේ යන්න එළියට බහිද්දි අම්මා දුන්න එකම අවවාදේ ඒක.

මගේ බැජ් එක ගලවලා තිබුනෙත් නෑ. ඒ නිසා මං සුපුරුදු විදියට ඩියුටි ගියා. තමාලි මිස්ව දකිද්දිත් මගේ හිතට කියාගන්න බැරි තරම් කේන්තියක් ආවත් ඔක්කොම වෙලා ඉවරයිනේ කියලා මං හිතහදාගත්තා. එයා එදා සහස්‍රාට මං දුන්න ලියුම් කියලා මට පේන්න එලියට අරං තිබුනේ ලියුමක් වගේ නවලා මංම ලිව්ව කතාවේ පිටු. මං ඒක පස්සේ දවසක අම්මිගෙන්ම දැනගත්තා. එදා හැමෝම එකතු වෙලා මාව ඒ තරම් පීඩනේකට ලක් කරාට හැමෝම පසුතැවිලි වුන බවක් මට පේන්න තිබුණා. ඒ නිසා මං ඒ හැමෝටම සමාව දුන්නා. මට ඕන උනේ ලොකු හුස්මක් අරං ආපහු ජීවිතේ ලස්සනට පටන් ගන්න. අදුරු කාලේ ඉවරයි දැන් හැමදේම හරි කියලා සහස්‍රාට කෑගහලා කියන්න. සහස්‍රා කැඩෙට් නිසා මාව පාවලා දුන්නෑ කියන සිතුවිල්ලම මාව සංතෝසෙන් පිරෙව්වා.

"උණ හැදුනා"

ස්කෝලේ ආව වෙලේ ඉඳන් ඒක තමා අහන අහන හැමෝටම මං කිව්ව බොරුව.

මං ඩියුටි ගිය ක්ලාස් එකේ සංජනා කියලා පුංචි නංගි කෙනෙක් මට හරි ආදරෙන් හිටියා. එයා මල් පොකුරකුත් අරං ආවා මාව බලන්න මං අලුතින් ඩියුටි ගිය ක්ලාස් එකට.

"අක්කි නැතුව ක්ලාස් එක පාලුවට ගිහින් තිබුනේ. ආයේ නම් උණ හදාගන්නෙපා."

කොටට කොටේ මල් ටිකත් මගේ අතට දීලා ඇගිලි තුඩු වලින් ඉස්සිලා මගේ කම්මුල සිපගෙන එයා දුවගෙන ගියා එයාගේ යාලුවත් එක්ක.

DandelionWhere stories live. Discover now