" දුව හෙටම යන්න ඕනෙද? නිවාඩු තව ඉතුරුයි නේද?" අවශ්‍ය කලමනා අතින් කටින් එල්ලාගෙන නිවසට ගොඩවුන සනුලිගෙන් ඇගේ මව ඇහුවේ ඇයට බොන්න ගුරුලේත්තුවෙන් වතුර වීදුරුවක් පුරවන අතරෙ.
" අයියගෙ යාලුවගෙ ගෙදර ඉඳලා හැමදාම යන්න බෑනේ අම්මා. මම ඉන්න තැනක් හොයාහෙන සෙටල් වෙන්න එපැයි" සනුලි එහෙම කිව්වෙ, පත්වීම ලැබුණෙ අනුරාධපුරයට කිව්ව සැණින් ඇයට ඉඳුම් හිටුම් සූදානම් කර දුන්න ඇතුවත් බැරි නැතුවත් බැරි ඇගේ සහෝදරයා ගැන උපන් සහෝදර ප්‍රේමය එක්ක.
" දුවගෙ කැමැත්තක් , අයියා මට නම් කෝල් කරලා කිව්වෙ රවිඳු පුතාගෙ ගෙදර ඔයාට ඕනෙ තරම් කල් ඉන්න පුලුවන් කියලා. අයියගෙ නම් කිසිම කැමැත්තක් නෑ ඔයාව පිට තැන්වල තියන්න. එයාලගෙ කොහොමත් රෙන්ට් කරන රූම් තියෙනවා නෙ පිටින් ඇක්සස් තියෙන."
ගුරුලේත්තුවෙන් වැටුණ සීතල වතුර ගතම නිවද්දි සනුලිට මතක් වුනේ ආයෙත් සති ගානකට තමන්ගෙ පිපාසය නිවන්නෙ බෝතල් වතුර නේද කියලා. ඇත්තටම සනුලිට ඕනෙ වුනෙත් ජීවිතේ ගිනිබත් කරපු මතක වලින් තවමත් ඉඳහිට නැගෙන ගිනිදැල් මේ වගේ සිසිල් ජල දහරකින් නිවා සනසා ගන්න.
" දුව...." සනුලි නිහඬ නිසාම ඇගේ මව ආයෙත් හඬ අවදි කළා.
" ඔයාට තනියෙන් යන්න පුලුවන් ද?" අම්මා ආයෙත් ඇහුවෙ මාස තුනකට ආසන්න වුණත් ඇයව මුදාහරින්න ඇය බිය වුණ නිසා.
" බය වෙන්න එපා අම්මා. දැන් මාස තුනකට කිට්ටුයි. මම ආයි පටන් ගන්න ඕනෙ. මට යන්න දෙන්න. මම ශක්තිමත් වෙලා නැගී හිටින්න ඕනෙ. මගෙ මෝඩකම හරි, වෙලාව හරි, කරුමෙ හරි මොකක් හරි නිසා මට ඒක වුණා. ඒත් මට ජීවත් වෙන එක අතාරින්න බෑනෙ. ඉගෙන ගත්ත දේ පැත්තකට දාලා රස්සාවෙන් අහක් වෙලා ගෙදර පොල් ඉඩම් බලාගෙන, කුඹුරු වැඩ බලාගෙන ඉන්න මම කැමති නෑ."
සනුලිගේ අම්මට දැනුනා තමන්ගෙ ඇස්වලට කඳුළු උනන බව. කිසිම කෙනෙක්ට දුකක් ගින්දරක් නොදී සාධාරණව තමන් සහ සැමියා ගොඩ නගාගත් කැදැල්ලේ හිටිය දෙවනි දරුවා සනුලි. ගම්පහ හැදී වැඩුණත් ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා කොළඹ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරන්න ඇය සමත් වුණා. උසස් පෙළ අවධියේ තම සැමියාගේ හදිසි රෝග තත්ත්ව නිසා වරින් වර දරුවාගේ ඉගෙනුමට බාධා එල්ල වීම ගැන ඇය අදටත් දුක් වෙනවා. පළමු වර සහ දෙවන වර විශ්ව විද්‍යාල වරම් ලැබුණත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබන්න ඇය අසමත් වෙනවා. ඒත් අවසානයේ තුන්වන වර, අප්‍රමාණ කැප කිරීමක අවසාන ප්‍රතිඵලය ලෙස ඇය ලංකාවේ මුල් පෙලේ සරසවියක වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබාගන්නවා. තමන්ගෙ දියණියගෙ නොපසුබට උත්සහය ගැන පසු කලෙක තම සමකාලීන මිතුරියන් හා තමන් උද්දාමයෙන් දොඩමළු වුණ සැඳෑවන් ගැන සනුලිගේ මව මතක් කළේ ඇසට ඉනූ කඳුළු හිමීට කම්මුල දිගේ රූරා වැටෙද්දි.

ŞİMDİ OKUDUĞUN
❤ Burgundy ❤ [ Completed ]
Romantizm" ඇයි මේ පාට?" " මේකට කියන්නෙ burgandy කියලා" " මොකද්ද ඒකෙ තේරුම?" " තේරුමක් තියෙනවා , ඒත් ඇයි සර් හැමදේකම තේරුම හොයන්නෙ?" නිහඬයි... ආයෙත් නිහඬයි... Start date 19/06/2023 End date 17/09/2023