වසර තුනකට පෙර....
අදීරා දිසානායක, ප්‍රථම ප්‍රේමය හිත පුරා විඳින්නී, මුළු රැයම අවදියෙන් උන්නාය.සිරුර පුරාම විහිදුණු රුධිර නාලිකා තුල සමනලුන් තටු ගසමින් පියාසර කරන විට නින්ද ඇය අසලට එන්නේ කෙසේද.කිසිසේත්ම ඉඩක් නැත.
පනස් හය වෙනි වතාවට ... නැත්තම් එකසිය විසි තුන් වෙනි වතාවටද .... අදීරා කොට්ටය අසල තියන ජංගම දුරකතනයේ තිරය පරීක්ෂා කලාය.
තුනයි විස්සයි...තවත් පැය අටකට ආසන්න කාලයක් ඉතිරිව ඇත. මොන ආකාරයකටද ඒ පැය ටික ගෙවා ගත හැකිද.සිරුර පුරාවටඑහෙ මෙහෙ දුවන සමනලුන් ජනිත කරන කලබල හැඟුමන් සුළු පටු නොමැත.අදීරා ඒ පැත්තට ... මේ පැත්තට හැරෙන්නී ... කොට්ටයේ මුහූණ වලලා ගත්තී ... පොරොනාවේ ගැඹුරටම කිමිදෙන්නී...... නිදි වදින්නට මහත් සේ වෙර දරුවාය.
එනමුදු ඒ කිසිවකින් නින්ද අසලට නොආ බැවින් ඇය පොරෝනාව පසෙක ලා බිමට බැස බිත්තිය තරම් උස කව්ළුවෙ වීදුරු පියන් පතක් එක පසකට තල්ලු කලාය.දෙවෙනි මහලේ අදීරාගේ කුටිය විවෘත වන්නේ කුඩා සඳළුතලයකටය.වීදුරු පියන් පත තල්ලු කරන ඇසිල්ලෙන් හදිස්සියෙන් දුව ගෙන ආ සීතල සුළං කැරැල්ලට අදීරාගේ නිදි ඇඳුමට නොවැසුණු අත් දෙකේ හිරිගඩු මතු විය.පිට මැදක් වෙන තෙක් විසිරුණු රැලි කොණ්ඩය අතරින් රිංගා ගිය සීතල කුටිය පුරාවට විසිරින.බාහු දෙක අත් වලින් හිර කර ගත් අදීරා සඳළුතලයට පය තිබ්බාය.
කළු පැහැ අහස .. නැත... එය කළු පැහැයට වඩා දම් පැහැයට හුරු අහසකි. සඳ වලාකුළු වල ගිලි පෙනී නොපෙනී එබිකම් කරයි.එහි හැඩය සඟවා කහ පැහැය පමණක් වලාකුළු මත ඉහිරී ඇත.සුළඟින් ගස් වල කොළ පවා නොසෙල්වෙන නිහඬ හෝරාවකි එය.අදීරාට සැමදා රාත්‍රිය මායාකාරීය.ඒ මායාකාර බවට අදීරා පුදුම තරම් ඇලුම් කලාය.බොහොමයක් ජීවීන් තමන්ගේ වාසස්ථාන වල කොටු වෙන කොට... පරිසරය හිස් වෙන කොට පමණක් එලි බහින ඒ මායාවී ස්වරූපය ඇය හැකි සෑම විටම උපරිමයෙන් විඳ ගත්තාය.
රාත්‍රියේ පමණක්ම නෙවේ, ඝණ වනාන්තරයක් මැද,රැලි තනිවම හුස්ම ගන්න මුහුදු වෙරලක,කොටින්ම මිනිස් පහස අවමයෙන් විඳින ස්ථාන වල තවමත් මිහි මවගේ ඉපැරණි මායම් ඉතිරි වී ඇත. ඒ ආකාරයේ බිම් කඩවල් මැකී ගිය අතීතය ගැන අදීරාට රහස් කියයි.වරු ගණනාවක් හෝ නිසලව ඒ රහස් අසා හිඳිමට අදීරා සුදානම්ය.