" මොකද්ද පුතා මේකේ තේරුම"
අම්මාගේ කෝපය පිරුණු ස්වරය කන වැකෙන විට නේත්ර සිටියේ සෝෆාව මත දිගා වී ජංගම දුරකථනයෙ උඩ පහළ ගමන් කරමිනි.
ඔහු දෙනෙත් එසවුයේ අම්මා කුමන දෙයක් පිලිබඳව කතා කරනවද කියා සිතා ගනු නොහැකිවය.මව අසලින් සිට ගෙන ඉන්නා සොයුරිය දුටු ඔහුට මෙය යහපත් දෙයක් නම් නොවන බැව් හැඟීන." මොකක් ගැනද අම්මා අහන්නේ " නේත්ර දුරකථනය පසෙකින් තැබුවේය.
ඔහුට මවගේ මුහුණ දුටු ඇසිල්ලේ ඇය දිගු කතාවකට සුදානම් වන බැව් වැටහින.කතාවට අමතරව බැනුමක සේයාවක්ද ඇගේ මුහුණේ දිස් වෙයි." මොකද ඔයා මේ හැම ප්රපොසල් එකටම බෑ කියන්නේ.. "
මවගෙන් මෙම පැනය කුමන හෝ වේලාවක පැන නැගෙන බැව් නේත්ර දැන සිටියේය. එයට පිළිතුරු දීමටද ඔහු සුදානම්ව සිටියේය." මම ඒ කාටවත් කැමති නැහැ " ඔහු පැවසුවේය.
"කැමති වෙන්න හම්බ වෙන්නවත් ඕනෙනේ... දකින්නේ වත් නැතුව කොහොමද තීරණය කරන්නේ " මැණික් මුදලිගේ පුතනුවන්ගෙන් විමසුවාය.
" හම්බ වෙන්න දෙයක් නැහැ.. දැක්කම තේරෙනවා මට "
"දැකලා මිනිස්සු ගැන තේරුම් ගන්නේ කොහොමද.. කතා කරන්නේවත් නැතුව. එන එන හැම එකටම බෑ කියනවා "නේත්ර හොරැහින් සොයුරිය දෙස බැලුවේය. ඇය නිහඬව බලා සිටින්නීය. ඇයත් මවගේ පිලට මාරු වී ඇති සෙයකි.දුෂ්ට පාවාදෙන්නී.
මං අල්ල ගන්නම්කො...ඔහු තනිව සිතුවේය.
වාහනයක් ගෙවත්තට ඇතුළු වන ශබ්දය ඔහුගේ කන වැකුනි .යන්තම් ඇති දිනෙල් අයියා.
දිනෙල් ජයසේකර නිවසට පය තියන විටම සීතල යුද්දයක් ආරම්භ වී ඇති බැව් වටහා ගත්තේය.
හැඟීම් විරහිත මුහුණින් සෝෆාව මත සිටිනා මල්ලි...කෝප මුහුණින් ඉන්නා අම්මා... බරපතල මුහුණින් ඉන්නා ඔහුගේ බිරිඳ.අම්මා පහු ගිය සති කිහිපයම කියවූයේ එකම මාතෘකාවක් යටතේ නිසා බැවින් යුද්ධයට හේතුවත් දිනෙල් දනී.එහෙත් සෝෆාව මතට වී කිසිදු ගණනක් නොමැතිව ඉන්නා හේතුව, විවාහ යෝජනා සියල්ල ප්රතික්ෂේප වන්නේ මන්ද කියා දිනෙල් හොඳින් දනී.
"ඔයා අද කලින්?" ඔහු පළමුව ඇමතුවේ බිරිඳටය." වර්ක් ෂොප් එකක් තියනවා කිව්වා නේද
" ඒක කලින් ඉවර වුණා "