මග හැරුණු දා ලෙසින්ම අදීරා පළමු හමුවීමෙන් පසුවත් තමන්ගේ වාහනයට වැදී සුක්කානමට හිස තියා ගත්තීය... එදා සේම අදත් ඇගේ කඳුළු දොරටුව විවර විය...එදා සේම කඳුළු කොපුල් දිගේ වුත් උකුලට වැටී ගවොම් රැලි අතර බොඳ විය...
එදා නිසල වුනු සමනලුන් තවමත් දීර්ඝ නිද්රාවේ...යලිත් ඔව්න්ගේ තටු සැලුනේ නැත ඒ මතකය පමණක් අදීරාගේ සිතුවිලි විචිත්රවත් කරයි.ඔහු ආයෙත් නම් හමු වන්නේ නැහැ. තමන් දෙස බලන විට ඒ දයාබර ඇස් වල දිස් වුනු සමච්චලය අදීරාට නොතේරුනා නොවේ. ඒ සමච්චලය ඇයව පුදුම තරම් ගැඹුරකට රිදවීය.හදවතේ කුඩාම මුල්ලක නොනිදා රිදවමින්.. දවමින් අවදියෙන් සිටින බලාපොරොත්තුව නිසාමයි අදීරා මේ හමු වීමට එකඟ වුයේ...අවසන ඒ බලාපොරොත්තුවම ඇයව කීතූ කීතූ කොට ඉරා දැමීය.
නැවතත් ඒ දෛවෝපගත දිනය අදීරාගේ මතකයට නැගින.
" චුටි පොඩ්ඩක් එන්නකෝ.. " අම්මා ජංගම දුරකථනයත් අතැතිව සාලයේ ඇය එන තෙක් රැඳී සිටී.
" ඇයි අම්මා... " අදීරා හිඳ ගත්තේ එහා පැත්තේ හුන් අක්කා දෙසටත් බැල්මක් පා කරමිනි.
මේ දිනවල අම්මාගේ ප්රධාන රාජකාරිය අක්කාට මනාලයන් සෙවීමය. එකත් එකටම ඒ සම්බන්ධ මොනාට හරි තමයි...
" මෙයාව බලන්නකෝ.. "
අම්මා දුරකථනය අදීරා අතට දුන්නාය.
තිරය පුරාවට දිස් වුනු මුහුණ දුටු විට අදීරාට හුස්ම අමතක වින.මුළු ගතම ශීතල විය.මලානික අහසක් යට සිහිසුන්ව නිදා හුන් සමනලුන්ගේ තටු පමණක් සොලවමින් වියලි සුළඟක් රුධිර නාලිකා දිගට හමා ගියේය.නේත්ර....
ඇගේ සිහි විකල් කිරීමේ හැකියාව සහිත සිනහවෙන් මුහූණ සරසා ගෙන අදීරා දිහාව බලා සිටී.පියවි සිහියට පැමිණීමට අදීරාට මඳ වෙලාවක් ගත විනි....කම්පනය සෑම සෛලයක්ම ආක්රමනය කරද්දී ඇය සිරුර.... සිතුවිලි සන්සුන් කිරීමට මහත් සේ වෙර දැරුවාය.
ඒ මග හැරීම සිදු වී දැන් වසර තුනක් ගෙවී ඇත .එහෙත් තවමත් අදීරා නේත්ර අසලම නැවති ඇත.ඔහුගෙන් එපිටක් ඇයට දිස් නොවේ..සිතුල්පව්වේ දුටු පළමු මොහොතේ පටන්ම තවමත් ඇගේ හදවත ඔහු සතුය. විටෙක උමතුවක් ලෙසට සිතුනත් ඇයට එයින් මිදීමේ හැකියාවක් නොමැත.