නිවසට පැමිණෙන විට රාත්‍රී නවයට ආසන්න විය.බඩු බාහිරාදිය වාහන වලින් ඉවත් කල පසු නේත්‍ර ඔහුගේ කාමරය වෙත ගියේය. පිරිසුදු වී සැහැල්ලු කොට කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසී ඔහු පහත මාලයට පැමිණෙන විටම මැණික් ඔහු ඇමතුවාය.
" කොහේද යන්නේ පුතා මේ වෙලාවේ.."
" මං කිව්වේ පොඩි වැඩක් තියනවා කියලා. ගිහින් එන්නම් "
" කාල යන්නකෝ " ඔව්න් අතරමග අවන් හලකින් ගෙනා කෑම බඳුන් දෙසට සන් කරමින් ඇය පැවසුවාය.
" දැන් බැහැ අම්මා.. මට බඩගිනි නැහැ. මං එන්න ටිකක් රෑ වෙයි "" මෙයාට මොකක් හරි වෙලා කියලා හිතෙන්නේ මට විතරද " වාහනයේ ස්වයංක්‍රීය යතුර ගෙන කඩිනමින් මිදුලට ඇවිද යන මළනුවන් දෙස බලමින් කියාරා මවට රහසින් කීවාය.
" මටත් හිතෙනවා " මැණික් මුවඟින් සිනා සුනාය. " මේ ලෝකේ නෙවේ ඉන්නේ මේ දවස් වල "
ඒ සමගින්ම නේත්‍රගේ රථය අධි වේගයෙන් පාරට හැරවින.
" ඕන එකක් හොම්බ කඩා ගන්නේ නැතුව"
කියාරා පැවසුවේ සිනාසෙමිනි.එවිටම රශා වඩා ගත් දිනෙල් එතැනට පැමිණියේය.
" අම්මි.. බඩගිනියි.. කවන්නකෝ " රශා සිය මවට පැවසුවාය.
" ඔයා දන්නවද මාමි වෙනස් මොකද කියලා"
රශා දෙනෙත් විසල් කොට මව දෙස බැලුවාය.
"මම.. මං දන්නේ කොහොමද.. මං පොඩි ළමයෙක්නේ "
කියාරා, දිනෙල් සහ මැණික් සිනාසෙන්නට විය.
" මාමිගේ ගොට්ට " කියාරා දියණියගේ කම්මුලකට තට්ටු කලාය.නේත්‍ර යන අතරමග අදීරා ඇමතුවේය.
" හලෝ.. "
" හලෝ.. ඔයා ආවද "
" ඔව්.. මං ඔහෙට එන ගමන්. ඔයා ගෙදර නේද "
" ඔව්.. "
ඔහු එන බව ඇසු ගමන් අදීරා කලබල වුවාය.ඇගේ හදවතේ හැඟුම් උතුරන්නට විය. හුස්ම ගණනය කරමින් සන්සුන් වන්නට වෙර දරමින් ඇය සාලයේ ඒ මේ අත සක්මන් කලාය.ඔහු දකින්නට ඇය නොඉවසිලිමත්ය.දොර සීනුව නාද විය.
අදීරා දොර විවර කලාය.
නේත්‍ර දොරටුවෙන් එපිට... අදීරා ඇතුලත. දෙනෙත් හමු වී මොහොතක් ගෙවීන. පලමුවෙන් ඉවත බැලුවේ අදීරාය. ඔහු ඇතුලට පැමිණ පසු ඇය දොර වසා දැම්මාය.
ඔහු සාලය මැද සිට ගෙන ඇය වෙතට හැරුනේය.
" කොහොමද.. "
කොහොමද.. අදීරා සිතුවාය. ඇයගේ මනසේ හැඟුම් පොර බදයි. ඔහු කොලොම්පුරයෙන් බැහැර වීම ඇය පාළුවෙන් පිරවීය.නිදිබර දෑසින් උන් ආදරය මනස තුල දෙනෙත් විහිදා අවදිව ඇත.ඔහු කෙරේ පෙර පැවති ආශාව අළු මතින් නැගිට ඇත.
එහෙත් ඒ කිසිවක් කිව නොහැක.
" හොඳයි " ඇය තනි වචනයෙන් පිළිතුරු දුන්නාය.
" ඔයා සෙහස් එක්කද ගෙදර ආවේ " නේත්‍ර සිතේ කැකෑරෙමින් තිබු පැනය ඇසුවේය.