*** මේක ලියවෙන්නේ පේරු ආශ්රිත ව. හැකිතාක් ආගන්තුක දේවල් එතනම විස්තර කෙරෙනවා. නැතිනම් කතාවේ පහළින් දානවා. මේකට අවශ්ය දේවල් සොයාගෙන ලියන්න ටිකක් වෙලා යනවා. මාත් පේරු ගැන මොනවත්ම දන්නේ නැති නිසා. ඉතින් හෙමින් තමයි ලියන්නේ. දැනට සතියකට සැරයක් විතර අප්ඩේට් දෙන්නම්.
දෛව අභිලාෂ
(Destino Escrito- Scripted fate)
පළවෙනි අභිලාෂය.තුංග, තුමුල අන්දීසය, යෝධයෙකු සේ ඔහු ඉදිරියේ නැගී සිටියි; ඍජුව , තේජවන්ත ව,ඉහළට නෙත යොමාගත් වනම . හරියට, අහසේ සිට වලාකුළු දෙබෑ කරගෙන *වෙරකෝචා වඩිනා තෙක් නෙත් අයා බලා සිටිනවාක් මෙනි. එසේය, උත්තුංග කඳු හිසක් වුවද සිය නෙත යොමන්නේ වඩා උසස් පුද්ගලයකු දෙසට මිස, තමාට වඩා දුබලයකු දෙස නොවේ. අද ඊයේ පමණක් නොව, අන්දීසය බිහිවූ දා පටන්, ලෝකය බිහිවූ දා පටන් එය එසේම ය.
වෙරකෝචා සිටින්නේ සියල්ලට ඉහළින් වැජඹෙමිනි. මිනිසා, ගස් වැල්, කඳු හිස් , සඳ , තරු, හිරු මතු නොව විශ්වයට පවා ඉහළිනි. මක් නිසාද යත් නිමැවුම් තිබිය යුත්තේ නිර්මාපකයාට පහළින් බැවිනි. එසේය, සියල්ල ඔහුගේ, එනම් වෙරකෝචා ගේ නිමැවුම්ය. මුළු මහත් විශ්වය පවා ඔහුගේ නිමැවුමකි. නිමවන්නා ට නිසගයෙන් හිමිවන අයිතියකි - විනාශය.
ඉතින්, නිමැවුම්, නිර්මාපකයාට බිය විය යුතුය, ගරු කළ යුතුය , පක්ෂපාත විය යුතුය. එහෙයින් මහා නිමැවුම්කරුගේ
යම් අභිලාෂයක් වේද, ඒ එලෙසම ඉටු කෙරෙන්නේය..
තුමුල, පුජනීය,වන්දනීය, ගෞරවනීය කන්දක් වුවද අන්දීසය ද වෙරකෝචා ගේ පාලනයට යටත්ය . අන්දීසය ඉටු කරන්නේද වෙරකෝචා ගේ ආඥාව ය. මිනිසා නිමැවුවේද මහා නිමැවුම්කරු නම්, ඔහු මුහුණ පාන සියල් දුක්, කම් කටොළු ද ඒ නිර්මාණයේම කොටස් විය යුතුය.
මෙවෙලේ කඳු පාමුල පිහිටි කුස්කෝ නගරයේ වීදි කොනක පිහිටි දෙවොලක දෙවියන් උදෙසා කෙරෙන පූජාවකි. දෙවියන් සතුටු කිරීම උදෙසා පූජා භාණ්ඩ ද , දේව නියෝජිත පූජක වරු සතුටු කිරීමට පඬුරු ද පුදමින් පීඩිතයෝ දුක් ගැනවිලි කියා පිහිට අයැදිති."කොච්චර පුද පූජා ඉෂ්ට සිද්ධ කරත් එයත් ගන්නේ බලවතා ගේ පැත්ත..මෝඩ මිනිස්සු අතේ තියෙන *සෝල් එකත් මෙව්වා ට වියදම් කරනවා...පව්, අසරණයෝ.."
උපහාසයෙන්ද සහකම්පාවෙන් ද ඇද වෙන මුවින් යුතුව සිය අත රැඳි සිගරැට්ටුවෙන් දුම් උගුරක් ඇද ගත් වස්කෝ එය පිට කළේ, කාරා කෙළ ගසමිනි. .ඔහුගේ දෙනෙත මොහොතකට පෙර පැරණි දේවාලයේ නොපෙනෙනා දෙවියන්ගෙන් පිහිට යදින දුප්පත් මිනිසුන් කිහිපදෙනා අතහැර වෙනත් "සිත් ඇද ගන්නා සුළු" දසුනක් කරා යොමුව ඇත.