දහහත්වන අභිලාෂය

19 4 11
                                    

සිය කුටියේ කවුළු උළුවස්සට අත තබා එයට වාරු වී , වීදුරුවෙන් එපිට පෙනෙන ලෝකය දෙස පැටලුම් සහගත සිතින් බලා සිටින අළු පැහැ දෙනෙතකි.  වෙනදාට එහි රැඳෙන තියුණු බව අද නිවී ගොසිනි . දෑසට ඉහළින් නැගි දෙබැම වක්වී නළලත මධ්‍ය යේ හා වී ගොසිනි.සාමාන්‍ය යෙන් එසේ වන්නට නම් අසාමාන්‍ය අන්දමේ ගැටළුවක් අළු දෑසැත්තා ගේ සන්තානය වෙලා, පටලා තිබිය යුතුය. 
හොඳින් කල්පනා කර බැලූ විට,  එය එසේයැයි කවරෙකුට වුවද වැටහී යනු ඇත.
ගැටළුවක් ලිහා ගත යුත්තේ කොණක සිටය, නූල් බෝලයක් ලිහා ගන්නා අයුරින්ය.

' කල්පනා කරපන් වස්කෝ..!හොඳින්  කල්පනා කරපන්..!'

ජනෙල් රාමුව අසලට පුටුවක් ඇද ගත් හෙතෙම එහි හිඳ ගත්තේ හිස කෙස් අතින් ඇද ගනිමිනි. සන්සුන් වීම උදෙසා දුම් පානයක් අවශ්‍ය යැයි දැඩිව දැනුන ද හේ මහත් ආයාසයක් යොදා එය පාලනයකට ලක් කර ගත්තේය. මේ,  සිය සිරුරත්,  මනසත් සතු සියළු ශක්‍යතාවයන් එකට දල්වා තබා ගත යුතු මොහොතකි.
සිය ගෙලේ රැඳි පදක්කම ලිහා ගත් ඔහු එය තියුණු පරීක්ෂාවකට ලක් කළේය.
සියල්ල ඇරඹුණේ එතැනින් නම්,  විමර්ශනයන් ඇරඹිය යුත්තේ එතැන් සිට ය.

ඒ  දෛවෝපගත රාත්‍රියේ වස්කෝ සිටියේ , පූජනීය නිම්නය ආසන්නයේ පැරැණි ක්‍රිස්තියානි පල්ලියක ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන බිමක ය. ඒ පැරැණි පල්ලිය තනා තිබුණේ බිඳී ගිය පුරාතන ඉන්කා දෙවොලක් මතුයේය. ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යයේ පුරාණ දෙවොල මතු වීම කිසිසේත්ම අද්භූත යමක් නොවේ.  ස්පාඤ්ඤ කාරයින්,ඉන්කා වරුන්ගේ ප්‍රධානතම දෙවොල වූ ස්වර්ණ දෙවොල පවා සිය භාවිතයට ගත් අතර, ඒවායේ රන් සහ වටනා දෑ කොල්ල කා,  ඒ මත තම ඇදහිලි විශ්වාස සිටුවා පැළ කරන ලදහ. එහෙත් වෙඩි බෙහෙත් සහ ගිනිදැල් වලට රුධිරයට කා වැදුණු ජාතික උරුමය විනාශ කළ නොහැකි විය.
අදට ද පේරු හි කේරෝස් ගම්මානයේ සම්ප්‍රදායික පැරැණි වත්  පිළිවෙත් ආදිය අනුගමනය කරන පැරැන්නන් ගෙන් පැවතෙන ජන කොට්ඨාශයක් ජීවත් වෙයි.
ඒ  එවන් බොහෝ තැන් අතරින් එකකි.
පල්ලිය තුලින් දෙවොලක නටඹුන් මතු වී ඇතැයි යන ආරංචියට වස්කෝ වහා එතැනට ඇදුණේ අන් අයට පෙර ඉක්මන් වෙමිනි. 
අහා..! සර්කාඩෝවේ වීදි නීති..!
මතක හැටියට අංක එකොළහ වන්නට ඕන..අනිකාට පෙර ඉස්සර වන්න.
ඉතින් වස්කෝට පාඩුවක් වුණේ නෑ නොවැ.

දෛව අභිලාෂ  - Destino Escrito ( Scripted Fate)Tahanan ng mga kuwento. Tumuklas ngayon