තවත් අළුත් දිනයක් උදා වී ඇත. ලෝකය නැවතත් වටයක් කරකැවී තිබේ. ඇත්තටම මෙහෙම නොනැවතී කරකැවීම ලෝකයට එපා වන්නේ නැද්ද..මං අහන්නේ අඩුගාණේ කරකැවිල්ල හැදෙන්නේ නැද්ද?
ඇඩෙලිටා ට නම් දැනටමත් කරකැවිල්ල සෑදී ඇත.
ඇය වටා ලෝකයම භ්‍රමණය වෙමින් පවතී. නැතිනම්…, නැතිනම් , ඇයත් කරකැවෙමින් සිටින්නේ ද?
කරකැවෙමින් යන ලෝකය එක තැනක නැවතීම ප්‍රතික්ෂේප කරයි . ඇඩෙලිටා ට මේ කැරකෙන ක්‍රීඩාව තව දුරටත් දරා ගත නොහැකිය. සිටි තැනම දෙකට නැමුනු ඈ වමනය කරන්නට පටන් ගත්තාය.ඉන් අඩ හෝරාවක ට පමණ පසුව
සැන් ඇන්ඩ්‍රෙස් විශ්ව විද්‍යාලයට හැරෙන මාවත අසල අසනීපව, සිහි මඳව, වැටී සිටි යුවතියව කවුරුන් හෝ රෝහලකට රැගෙන විත් තිබුණි. යුහුසුළුව ප්‍රතිකාර කෙරෙන අතරතුර ඇගේ ඇඳුම් සාක්කු ද, උර හරහා රැඳුණු බෑගයද ඔවුන් පරීක්ෂා කර තිබුණේ, ඇගේ අනන්‍යතාවය සොයා ගන්නට හෝඩුවාවක් ලබා ගැනීම පිණිසය. ඒ අවස්ථාවේදීය, ඔවුනට ඒ විවාදයට තුඩු දෙන ද්‍රව්‍ය හමු වී තිබුණේ.
සාක්කුවේ රැඳි අනන්‍යතා කාඩ්පතකින් ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක යැයි හඳුනා ගත් නිසා බලධාරීන් විසින් සියලු කාරණා විශ්ව විද්‍යාල පාලන අධිකාරියට හෙලි කරනු ලැබ තිබුණි.සියළුම දේ? එසේය, සියළුම දේ.
ඇගේ සාක්කු වලින් සහ බෑගයෙන් ඉතා සුළු මුදලක්ද , කුඩා රන් දම්වැලක් විකුණූ බවට සටහන් කුවිතාන්සියක් ද, මධ්‍යසාර සහ දුම්වැටි තරමක වැඩි ප්‍රමාණයක් ද ම/රි/ජු/වා/නා සුරුට්ටු කිහිපයක් ද , යම් ප්‍රමාණයක කො/කේ/න් ම/ත්/ද්‍ර/ව්ය ද සොයාගනු ලැබ තිබිණි. ඇඩෙලිටා ඒ වන විට සිටියේ ඒ කිසිත් පිළිබඳව විස්තර සැපයිය හැකි තත්ත්වයක නොවේ.
කොටින්ම ඇගේ ජීවිතය පවා අඩමානව දුබල රැහැනකින් එල්ලී දෙපසට පැද්දෙමින් තිබුණේ විය.
ඉදින් රෝහල් අධිකාරිය, සැන් ඇන්ඩ්‍රෙස් පාලන අධිකාරිය ටද, නීති අංශ වලටද කාරණාව සැල කර තම වගකීම ඉෂ්ට කර තිබුණි.ඔවුන් සැක සිතූ පරිදිම අධිමාත්‍රාවකින් ඒ ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් ඇගේ ශරීර ගත වීම මේ තත්ත්වය ට හේතු වී ඇත.
අවදානම් කලාපයක සති කිහිපයක් පුරා රැඳී සිටි ඇය කාලයත් සමග යථා තත්ත්වයට පත් වුණේ දැඩි වෛද්‍ය අධීක්ෂණය සහ නිසි කලට ලද ප්‍රතිකාර නිසාය.
ඇගේ මානසික මට්ටම යම් අවදානමක ඇතැයි තීරණය කළ වෛද්‍ය කණ්ඩායම ඇයව මානසික වෛද්‍ය ප්‍රතිකාර වෙතද යොමු කර තිබුණි.
එහෙත් මේ කාරණය විශ්ව විද්‍යාලයය තුළ ඇති කරන ලද හාහෝව සුළුපටු නැත.