දොළොස්වන අභිලාෂය

25 5 18
                                    

කඳවුරු ගිනි මැලය දැල්වෙමින් අවට අන්ධකාරය පළවා හැරියත්,  කඳුකර ශීතල හා සටනට එය ප්‍රමාණවත් නැත.
අද ගජමිතුරෝ දෙපළ ම ' හැපී ලාමා' වන් සමඟ චාරිකාවක ට එක්ව ඇත්තාහ.
රැයේ ඔවුන් දෙදෙනා තවත් විදේශිකයන් කිහිප දෙනෙකු හා ගිනිමැලය අසල හිඳගෙන හිඳිති. එමීලියෝ ඔවුන් හා කතාවට වැටී හිඳියි.
ගිනිමැලයේ එළියෙන් එමිල්ගේ මුහුණේ ඉරියව් දෙස සුපරීක්ෂාකාරීව බලා හිඳින ඇල්වා ගේ මුව’ගට  නිරායාස සිනාවක් නැගුණේ  දහවල් සිදුවීම් මතකයට නැගුණි බැවිනි.

චීන්චිරෝ පෙදෙස නැරඹූ සංචාරක පිරිස ඉන්පසු   චාරිකාවේ යෙදුණේ කුස්කෝ සිට කිලෝමීටර හතළිහක් පමණ එපිටින් වන මාරාස් සහ මෝරේ ප්‍රදේශ නැරඹුමට සහ ඒ අසල කඳවුරු බැඳීමකටය.
දහවල් කාලයේ ඔවුහු චාරිකා නඩය කැටුව ගියේ මාරාස් ලුණු ලේවා  නැරඹීමටය.  නිම්න භූමියක පිහිටි එම ලවණ ලියදි අතීතයේ පටන් ඉන්කාවන්ට අවශ්‍ය ලුණු සපයා දුන්නේය. අධික ලවණතාවයකින් යුතු   කඳුකර උල්පත්  ජලය එම ලියදි කරා හරවා,  ජලය වාෂ්පීභවනය කරමින් ලුණු නිෂ්පාදනය කෙරේ. කඳු බෑවුම පුරාම හිම සුදු පැහැ ලියැදි රටා මවන්නේ, අයිසින්  තට්ටුවක් තවරන ලද රසකැවිලි ගන්වමිනි.
එමීලියෝ සිටියේ මාරාස් ලුණු වල උපත පිළිබඳව අතීත ප්‍රවාදය සංචාරකයන්ට විස්තර කරමිනි.
චතුර ලෙස භාෂාව හසුරවමින්,  ඇවැසි තන්හි ඉංග්‍රීසි වදන් යොදා ගනිමින්,  හුරුබුහුටි ලෙස මුහුණේ ඉරියව් වෙනස් කරමින්,  ඇත්තෙන්ම කිව්වොත් මඳක් රඟපාමින් එමීලියෝ කතාව කියමින්  සිටියි.
ඇල්වාරෝ තමා භාරයේ සිටි සංචාරක පිරිසද ඒ වෙතට යොමු කළේ එහි සිටි තරුණ මෙන්ම වයස්ගත කාන්තාවන්ගේ නොමඳ ආකර්ෂණයට 
එමිල් ලක්ව සිටින වග සහසුද්ධයෙන්ම දැනගෙන ය.
ඔහුද පසෙකට වී එමීලියෝ ගේ රඟපෑම සහ කතාවද, ඔහුට ආසක්තවී සිටින ගෑණු පරාණ වල කෝලම් සහ ඉංගිත ද දෙස අඩ සිනාවකින් යුතුව බලා සිටියේය.

‘ ඔන්න  ඉතින් ඔහොම ඇවිදගෙන යනකොට,  මොකද වුණේ දන්නවද? ආයාර් කාචි ඉන්නවනේ..මිනිහා  විනෝදයට වගේ  ගලක් අතට අරන් ඈත කන්දට දමලා ගැහුවා ..’
ඔහු ගලක් අහුලා  දමා ගසන ආකාරය අනුකරණය කළේය. 

හරියට ඒ සිදුවීම සිදුවද්දී ළඟ සිටියාක් මෙන් එමිල් කතන්දරය කියමින් සිටියි. 
‘ගල වැදුණා විතරයි…එකපාරටම කන්ද මැද්දෙන් පැළුනා ..
මහ විසාල පැල්මක්….!! ආං..අර පේන්නේ..අර..අතන…අන්න ඒ වාගේ…’
‘ අනික් ආයාර් ලා තුන්දෙනා..බය වුණා. ආයාර් කාචි ගේ ශක්තියට…’
හේ තම සවිමත් බාහුවේ මස් පිඩු පුම්බා දක්වමින් සංචාරක පිරිස සිසාරා දෑස් යවා , ඇසක් ඉඟි මැරුවේ 
ඔවුන'තරට සිහින් සිනාවක් කැඳවමිනි.
 ‘ඉතින්… ඒ ගොල්ලෝ මොකද දන්නවද කරේ…?
 එයාව රවට්ටලා ,ගුහාවකට ගෙනිහිල්ලා,... හිර කරලා දැම්මනේ..,පස්සේ එයාව කන්දක් කෙරුවා….’
අසා සිටින්නන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම තමා සතු කරගෙන හුන් එමීලියෝ තම කාර්යයෙන් විනෝදයට පත්ව සිටියේය. 

දෛව අභිලාෂ  - Destino Escrito ( Scripted Fate)Tempat cerita menjadi hidup. Temukan sekarang