# දෙවන අභිලාෂය

30 5 14
                                    

#2

ලීමා වේ කරක් ගසමින් සිටි අතිජාත මිතුරා සිය උදව් පතා තමා ළඟ ට පැමිණි විට හැකි උපරිම අයුරින් ඔහුට සැළකීමට ඇල්වාරෝ අදිටන් කර ගත්තේ,  මීට සතියකට පෙර දිනයක,මිතුරාගේ පණිවුඩ ය ලද විගසම ය.
ගෙවුණු සතිය තුළ දී කුස්කෝවෙන්  මඳක් එපිටට වන්නට එහෙත් පහසුකම් අනූන නවාතැනක් සෙවීමට ඔහුට හැකි විය.
ඒ  සැන්ටා මරියාවේ පිහිටි නාකි රාමෝස් නෝනා ගේ කුලී නිවසකි.
රාමෝස් නෝනා තරුණ කාලයේ දී අමාරුකාරියක වූවාය. ඇය මුදල් ඉපයූයේ වැඩිමනත් අනීතික ක්‍රියා පටිපාටි මඟිනි.  ඒ අතර වූ නෛතික ආදායම් මාර්ගයකි, නිවාස කුලියට දීම . එහෙත් ඇගේ කිතු ගොසත්,  ඝෝෂාකාරී කට අඬින් වෑස්සෙන කුණු සරුපත්,  පොඩ්ඩ බැරි වුණොත් ‘ගේමට බහින්නට’ සුදානම් මැරවරයින් කිහිප දෙනාත් නිසා මේ නිවාස කුලියට ගත්තේ ද ' එක්තරා ආකාරයක ' ගණුදෙනු කරුවන් පිරිසකි.  දැන් රාමෝස් නෝනා ගේ රූ සපුව වියැකී,  සිරුර තරබාරු වී, අබල දුබල ව ගියද,  තවමත් පැරැණි චණ්ඩින් ගෙන් පැවතෙන එන දෙදෙනෙකු සහයට සිටින නිසාද, ඒ සේරමටත් වඩා පරුෂ වදන් කීමේ හැකියාව වියැකී ගොස් නැති නිසා ද තවමත් නිවාස කුලියට ගන්නේ 'එක්තරා ආකාරයක' ගණුදෙණුකරුවන් කොටසකි . ඇල්වාරෝ අයත් වුණේ ද 'එක්තරා ආකාරයක ' පිරිසකට බැවින්  මේ කුලී ගනුදෙනුව සාමකාමීව සිදු විය.
කාමර දෙකකින්,  කුඩා කුස්සියකින් , විසිත්ත කාමරයකින්  සහ නාන කාමරයකින් යුත් ඒ නිවස ඇතුළතින්  සුවපහසු බවක් පළ කළ අතර පිටතින් බැලූ කළ සාමාන්‍ය මධ්‍යම පාන්තික නිවසක් වීය.
ගේට්ටුවෙන් ඇතුල් වී කුඩා පෝටිකෝව යට යතුරුපැදිය ගාල් වූ පසුවද, නිවසේ දොර විවර කර දෙදෙනා ඇතුල් වන තෙක් ද පැවතියේ නිහඬ වතකි.
දොර වසා අගුලු ලෑ ඇල්වාරෝ,  වස්කෝ ව යලි වැළඳ ගත්තේ හිතේ හැටියට මිතුරු හමුවේ ප්‍රීතිය භුක්ති විඳීමට ය.
'වස්කෝ...! උඹව ඇඳින්නෙත් නෑ මං..'
ඇල්වාරෝ කීවේ චෝදනාවක ස්වරූපයෙනි.
' එහෙනං  වෙස්වලා ගැනීම සාර්ථකයි, වස්කෝ,  උඹෙ ළඟ ම යාළුවාට වත් උඹව අඳුනගන්න බෑ' වස්කෝ සිනාසෙමින් කීවේ, නාටකීය විලාසයකිනි.
' ඇත්තටම මොකද වුණේ වස්කෝ..?' ඔහුට පුටුවක් දක්වා හිඳ ගන්නට සන් කරමින් මත්පැන් බෝතලයක් විවර කළ ඇල්වාරෝ  ඇසීය.
' පොඩි වැඩක් ගැස්සිලා ගියා.  දැන් පොලීසියෙන් හොයනවා.  මට වහං වෙලා ඉන්න ඕනේ '
' හ්ම්...එහෙනං මෙහෙම හොඳයි...මේ හරියේ ඒ කලබල නෑ. මං අහල පහල උන් ට දැනටමත් කියලා තියෙන්නේ උඹ මගේ මස්සිනා කියලා.  රස්සාවක් හොයා ගන්න මෙහෙ එනවැයි කියලා.’
මත්පැන් වඩියක් වක් කර ගන්න ට අත දිගු කරමින් වස්කෝ හිස සැලූවද,  ඇල්වා ඔහුව වැළැක්වී ය. නොපහන් බැල්මකින් ඔහුට පිළිතුරු දුන් වස්කෝ තමා වෙත තල්ලු කරන ලද කළු කෝපි කෝප්පය අදිමදි කරමින් අතට ගත්තේ ‘ හෙණ ගැහිච්ච කඳු ‘ යනුවෙන් මුමුණමිනි. 
'  මං ටික දවසක් සද්දේ වහලා ඉන්න ඕන. රැවුලයි,  කොණ්ඩෙයි ටිකක් වැවෙන්න අරින්න ඕනේ...' ඔහු සිය බොරු කොණ්ඩයත්,  රැවුලත් ගලවමින් කිව්වේය.
ඇල්වාරෝ මත්පැන් වීදුරුව තොල ගාමින් ම කල්පනාවට වැටුණේය.
' හ්ම්.  .මෙහේ කවුරුත් උඹව දන්නේ නෑ..ඉතින් අපි වස්කෝ ව හංගලා- එමීලියෝ සැන්චෙස් ව එළියට ගමු..'
මඳක් කල්පනාවකට වැටුණු ඔහු නැවතත් හඬ අවදි කළේය.
' මෙහේ ටුවර් ගයිඩ් කෙනෙක් විදියට වැඩ පටන් ගනින්. මං වැඩ කරන තැනම- හැපී ලාමා එකේ..මාත් එක්කම පුරුදු වෙතහැකි.  '
වස්කෝ ඔහු දිහා බැලුවේ දෑස් සිහින් කරමිනි.
' මට ඕවා  හරියන්නෑ අමීගෝ...මගේ ක්‍රමේට වැඩක් පලක් කර ගන්නයි මට ඕනෑ '
' උඹේ ක්‍රමේ ගැන මං නොදන්නවා යැ *චෝලෝ..?
ටිකක් මේකට හුරු වෙයං..මෙහේ පුරා වස්තු ඕන තරම්.  උඹ වගේ සොහොන් බිඳින එකෙකුට  කරන්න වැඩද මෙහේ නැත්තේ..? ඒත් ඉස්සෙල්ලා උඹට  ගුණ යහපත් ටුවර් ගයිඩ් මහත්තයෙක් වෙන්න වෙනවා.  මේ ඒරියා එකේ බොසාවත් අඳුරගන්න වෙනවා.  ඒ ඔක්කොටම වඩා ලීමා වේ ඉඳලා උඹ ව හොයන් එන්න බලන් ඉන්න 'ආදරවන්තයෝ ' මග අරින්න වෙනවා..'
ඇල්වාරෝ ඇසක් ඉඟිමරා,  අතකින් තුවක්කුවක් අනුකරණය කරමින් වස්කෝ ට වෙඩි තැබුවේය.
මිතුරා දෙස නෙත් කොණින් බැල්මක් හෙලා,  කවුළුව අසලට ගිය වස්කෝ බරැති හුස්මක් හෙලා ළය සැහැල්ලු කර ගත්තේය.
' කවුද මෙහේ බොස්?'
' සාර්තේ...උඹ බිස්නස් වලට බහිනවා නං ඌට කියලා ඉන්න ම වෙනවා. ඌ මහා එපා කරපු එකෙක්.  අපි කරන ගණුදෙනුවකින් සීයේට පහක් ඌ ගන්නවා...අනික....උඹ ඒරියා එකට අළුත් නේ. ..උඹෙන් නම් වැඩි ගාණක් ගනියි.
හැබැයි ආරක්ෂාව ගැන බය වෙන්න ඕන නෑ.. අවුලක් වුණොත් මිනිහා උඹ ව කවර් කරයි. ..ඒ අතින් තනි වචනේ මිනිහා..'
වස්කෝ කවුළුවෙන් පෙනෙන කඳු වැටිය දෙස නෙත් හෙලා ගත් වනම සිටියේය.
' මං හවුලේ වැඩ වලට ආසා නෑ බං. උඹ සර්කාඩෝ වලින් ආවාට පස්සෙම මට හරි හමන් පාට්නර් කෙනෙක් සෙට් වුණේ නෑ.
තනියම පොඩි පොඩි ගේම් දුන්නට අතට වාසියක් නෑ. ..ඒකයි රෝසා නිග්‍රා ( කළු රෝස) එක්ක එකතු වුණේ...අහලා තියෙනවනේ මුවර්තේ (මරණය) ගැන..මට දෙතුන් පාරක්ම මුණ ගැහිලා තියෙනවා.  මට හම්බෙලා තියෙන දරුණුම මිනිහා.  ඌට අංචියක් ඇද්දොත් නම් ඉතින්....මරණේ තෝරාගන්න එක සැපයි "

දෛව අභිලාෂ  - Destino Escrito ( Scripted Fate)Where stories live. Discover now