පහළොස්වන අභිලාෂය

24 4 13
                                    

ඇල්වාරෝ ඌරුමස් කුට්ටිය කැබලි වලට කපා මැටි හට්ටියකට දැමුවේය.  එයට දුම් ගැසූ වියළි මිරිස්,  ඇනැටෝ කුඩු සහ චීචා එක්කර

පදම්  වන්නට හැරියේය. අද ඉරිදා ය. අනෙකුත් කුස්කෝ වාසීන්  සේම උදෑසන ආහාරය ලෙස අඩෝබෝ පිසීමට ඇල්වා සූදානම් වෙයි. මස් කැබලි පදම් වූ පසු මඳ ගින්නේ සෙමින් පිසෙන්නට හැර ඔහු බතක් සහ සලාදයක් ද, චීස් සහ බදින ලද අර්තාපල් තීරු ද සකසමින් කල්පනාවට වැටුණේය.  මේ අහර පිසෙන්නේ වස්කෝ පැමිණෙතැයි බලාපොරොත්තුවෙනි.  පදිංචිය වෙනස් වූ පසු ඔහු බොහෝ කාර්ය බහුලය.  ඉඳහිටක ඔහු සංචාරකයන් රැගෙන යන තැනකදී හමු වූවොත් කතා බහ කරයි. කලාතුරකින් ඔහුට දුරකථන පණිවිඩයක් තබයි. 

අද ඔහු එන බවට පණිවුඩය ක් ලැබුණි. 

‘ මේ කෙහෙල්මල් වැඩේ බාර ගත්තාට පස්සේ ඉඳලා හරියකට දැක්කේවත් නෑ. ‘

ඇල්වාරෝ සාංකාවෙන් තමාටම කොඳුරා ගත්තේය. 

 හැපී ලාමා හි සේවය කළ කාලය තුල ඔවුන් කෙතරම් ළඟින් සිටියාද?  විහිළු තහළුවෙන්,  සමීප බවකින් ඔවුහූ නිවසේ කටයුතු බෙදා ගත්හ. වෙහෙසකර දවසක අවසානයේ ගෙදර විත් අසුනකට ඇද වැටෙන විට හිතවත් ඇසුරක සුවය හද ගිම් නිවන්නේය.  දැන් මුළු නිවසම පාළුවට ගොස් ය. තමා ඔහු ලීමා වේ දමා ආ කල ඔහුටද එසේ දැනෙන්නට ඇත. ඔහුට ද කාන්සිය,  සාංකාව දැනෙන්නට ඇත.

හදවතේ බරැති හිස්තැනක් හැදෙන්නට ඇත.

ඇල්වාරෝ සුසුමක් හෙලා මස් ව්‍යාංජන ය පිස එය ලිපෙන් බෑවේය.  ලිප නිවා දමන්නට පෙර තවත් මස් කැබලි ටිකක් තුනපහ අතගා ගැඹුරු තෙලේ බැදගත්තේය.

ඊටත් හෝරාවකට පමණ  පසුව ඔහුගේ මුහුණ සිනාවකින් ආලෝකවත් කරමින් වස්කෝ පැමිණියේය.

ඇල්වාරෝ ගේ සිනාව මෙතරම් පුළුල් වූයේ සති එකහමාරකට පසුව වග දන්නේ නම් වස්කෝ ඔහුව තවත් ටිකක් තදින් වැළඳ ගන්නවා නිසැකය.

' ස්...සුවඳ....බඩගිනියි අමීගෝ...උඹ ජයටම උයලා වගේ..' වස්කෝ ,ඇල්වා ද ඇදගෙන කෑම මේසය වෙත ඇදෙමින් කීවේය.

' නෑ ...බං...ඒ හැටි දෙයක් නෑ..කාපන්, කාපන්..' ඇල්වාරෝ ඔහුට ආහාර බෙදමින් කීවේය.

දෛව අභිලාෂ  - Destino Escrito ( Scripted Fate)Where stories live. Discover now