ගෙවුණු සතිය තුල තෙවැනි වතාවටත් ඇඩෙලිටා සැන්ටා මරියාවට පැමිණියාය. විසල් කාල වර්ණ ගේට්ටුවකින් ආරක්ෂිත ගෙඋයනේ, රාමෝස් නෝනා පොරොත්තුව රැඳී සිටියාය. සද්දන්ත රිකාඩෝ ගේ විමසුම් බැලුම් මැද අසහනකාරීව වේලාව ගැන්නාය.
තවත් මිනිත්තු කිහිපයකට පසුව, ‘‘ඕලා , චිකිටීටා….!’ යැයි සවනේ රැව් දෙද්දී අපහසුවෙන් වුවද ලෙංගතු සිනාවක් මුවේ පින්තාරු කර ගත්තාය.
ඇඩෙලිටා ඇයට සිය අවීලා ගේ නව ඔසු වට්ටෝරුවක් රැගෙන එන බවට පිළිණ දී තිබුණාය. එහෙත් අවීලා එය සකසන්නට සිටියේ ලබන සතියේ දීය.
නමුත් ඇඩෙලිටා ට එතෙක් කල් මරන්නට බැහැ නොවැ. එනිසා අවීලා ට කරදර කොට එය හනික පිළියෙල කරවා ගත්තාය. සැන්ටා මරියාව බලා බස් රථයක නැංගාය.ඉතින්, මේ තරම් හදිසියක් මන්ද ඇඩෙලිටා ?
ඇගේ ඉතිහාස මහාචාර්යවරයා ඇයට යළිත් අමතා, උදව් ඉල්ලීමත්, ඉක්මන් ප්රතිචාරයක් ඇවැසි වග පැවසීමත් නිසාය.
ආගන්තුක සත්කාර සහ විවිධ ඕපාදූප කතා අතරතුර ඇඩෙලිටා සිය මෙහෙයුම ක්රියාත්මක කළාය.‘ ඔයා දන්නවද මේ හරියේ ඉන්න ප්රොෆෙසර් කෙනෙක්…? මේ…ගවේෂණයක් කරන…පුරාවිද්යාව ගැන..මේ .මේ…රෆායල් වගේ නමක්…?’
රාමෝස් නෝනා ඇතුලතින් තිගැස්සී ගියද, එය බාහිරට නොහැඟවූවාය.
‘..ම්….ප්රොෆෙසෝර්…??...’ඇය කල්පනාවක නිරත වග දැක්වූවාය. උරහිස් හැකිළුවාය.
‘මේ හරියේ හරියට අළුතින් අය ගැවසෙනවා. සංචාරකයොත් කුලියට ගෙවල් ගන්නවනේ..කවුරු කවුරු ඉන්නවද දන්නේ නෑ..කෙල්ලේ…’
ඇය ඇල්මැරුණු පිළිතුරක් තබා නිහඬ වූවාය.
එහෙත් ඇඩෙලිටා ට නිහඬ විය නොහැක. ඇගේ කාරිය කෙසේ හෝ ඉෂ්ට සිද්ධ කර ගත යුතු වේ. මේ සිටින්නේ මාස කිහිපයකට පෙර ඔබ අප දැන සිටි ඇඩෙලිටා නොවේ.
‘ ඒක නේන්නම්..බලන්නකෝ…මගේ කැම්පස් එකේ ප්රොෆෙසර් මට කතා කළා. එයාගේ යාළුවෙක් ඉන්නවලු මේ පළාතට ඇවිල්ලා. එයා පුරාවිද්යා ගවේෂණය ක් කරනවලු. එයා ඇසිස්ටන්ට් කෙනෙක් හොයනවලු. ඉතිහාසය දන්න කෙනෙක්….මගේ ගුරුතුමා කියන්නේ මට එයා ළඟ වැඩට යන්න කියලා…එයා මගේ හැකියාව ගැන දන්න නිසා…එයා කියන්නේ මගේ දක්ෂතා අපරාදේ වෙයිලු, මෙහෙම කැලේ හැංගිලා ගියොත්..එයා කියනවා මේක මට හොඳ අවස්ථාවක් ලු. මං කවුද කියලා ලෝකෙට පෙන්නන්න .
ප්රොෆෙසර් දැන් වයසයි. ලෙඩත් එක්ක. ඉතින් දැන් දුවලා පැනලා වැඩ කරන්න බෑ එයාට…මං අවසාන විභාගයට කරෙත් මේ ගවේෂණේට සම්බන්ධ ප්රොජෙක්ට් එකක්…අපේ ප්රොෆෙසර් ට හීනයක් තිබ්බා, අළුත් යමක් හොයාගන්න….දැන් එයා..එයාට ලැබිච්ච චාන්ස් එක මට දීලා….’