ජනේලයෙන් එපිට ඇද හැලෙන මුරුගසන් වර්ෂාව දෙස බලාගත්වනම ඔහු සිය උණුසුම් කෝපි කෝප්පය පානය කරමින් සිටියේය.
කඳු පාරේ ඉහල සිට වේගවත්ව ගලා එන මඩ පැහැති ජල ධාරාව කුඩා කාණු කටකින් පල්ලම් බසින්නට තතනමින් උන්නේය. ඉතින් එතැන ඇති වෙමින් තිබුණේ කුඩා මඩ දිය සුළියකි . වස්කෝ ගේ සිතේ කැළඹෙමින් දඟලන එවන් සිතිවිලි සුළි කිහිපයකි.
එනමුදු ගෙල තෙක් දිගු ව , නිසි මගෙන් පිටට පැන ඇති අවුල් වූ කැරලි කෙහෙරොදක්වත් නොසෙල්වෙන අතර මඩ සුළියේ ගමන් පථය අධ්‍යයනය කරන කාක දෙනෙතේ ඇසි පිය පමණක් ළඟ ළඟ සැලෙයි.ඔහු වටා වටහා ගත නොහැකි යමක් සිදුවෙමින් පවතී.
මල් උයන මවා දුන්නේ ද දෙවියන් ය. මල් වලට පිපෙන්නට ඉඩ හලේ ද දෙවියන්ය.
මල් වලට පාට, සුවඳ , හැඩ තේරුවේ ද දෙවියන් ය.
මල් උයනෙන් මල් නෙලා දෙන්නට යැයි ඉල්ලන්නේ -නැත - නියෝග කරන්නේ ද ඒ දෙවියන් ම ය.
ඉතින්, දෙවියන් උයනේ ඇති හොඳම මල් ඉල්ලා සිටින්නේ ඇයි?
දෙවියන්ට හොඳම මල් මිහිමතට නොඑවා, දේව උද්‍යානයේ ම තබා ගන්නට තිබුණා නොවේද ?
හොඳම මල් වලට එතරම් කෲර ඉරණමක් ලබා දෙන්නේ ඇයි ?
නැත . දෙවියන් සාධාරණ නැත.
දෛවය සාධාරණ නැත.
ඔතරම් විස්සෝප වන්නට කාරණා කිමද වස්කෝ?
ඔබ අප වැන්නවුන්ට දෛවය හෝ දෙවියන් ගේ සාධාරණයක් ලැබෙන්නේ නෑ නොවේද?
අපගේ දෛවය අප විසින් ලියා සකසා ගත යුතු නොවේද ? මනුවෙල් ගුරුතුමා කියා දුන්නේ එය නොවේද?
වස්කෝ ගේ අත සිය ගෙලේ එල්ලෙමින් තිබෙන අඩයාලමට ගියේ නිතැතිනි.
එහි මධ්‍යයේ වූ මාණික්‍යය ඔහුගේ රළු අත්ලට හසු විය.
දැන් එය මුලින් තිබු තරමින් අඩක් පමණ වී ඇත. කාලය සීමිතය.
දැන් ඉක්මන් කළ යුතුය.
ඔහු කළ යුතු වැඩ කටයුතු ලැයිස්තුවක් සාදන්නට සිය මනසට අණ දුන්නේය.