පස්වන අභිලාෂය

26 5 27
                                    

සූර්යයා ලොවක පැවැත්මේ මූලික සාධකයක් වන්නේය. ලොවේ ජීවය පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිය, ආලෝකය සහ උණුසුම ලැබෙන්නේ හිරු ගෙනි.
කෘෂි භෝග වගාවන්හි අස්වැන්න සාරවත් කරන්නේද,  නේක තුරු ලතා සහ සත්ත්ව සම්පත ට ශක්තිය සපයන්නේ ද හිරු ය.
ජීවයේ චක්‍රය අඛණ්‌ඩව කරකැවෙන්නේ සූර්යයා සතු අසීමිත බලයේත් ශක්තියේත් මහිමය නිසාය. සූර්යයා ගෙන් තොරව අපට පැවැත්මක් නැත. ඉතින් සූර්යයා දෙවියකු නොවන්නේ කෙසේද ?
සූර්ය වන්දනාව මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරු වන්නේ එහෙයිනි.  බොහෝ ශිෂ්ඨාචාර සහ සංස්කෘතීන් තුල සූර්ය වන්දනාව ප්‍රමුඛත්වයක් ගන්නේ එබැවිනි.
සෑම හිරු උදාවක් ම නැවුම් බලාපොරොත්තුවක් ගෙන එයි.  නව ජීවයක්  දිනයට කාන්දු කරයි. 

එහෙත්  සෑම හිරු උදාවක් ම එසේ ද ?
කොතැන හෝ තැනක කාට හෝ වැරදීමක් සිදු විය නොහැකි ද ?
හිරු උදාවකින් නැවුම් අපේක්ෂාවක ආලෝකයක් නොලබන්නේ කවරෙකු ද ?

ඝෝෂාකාරී ව අවදිවන බොලීවියානු අග නගරය - ලා පැස් හි  සැන් ඇන්ඩ්‍රෙස් විශ්ව විද්‍යාලයයේ ,ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිව්වැනි මහලේ අඳුරු කුටියක කවුළුවකින් නගරයට එබී බලා සිටින ,අවසන් වසර ශිෂ්‍යා,  ඇඩෙලිටා මමානි එවැන්නියකැයි කවුරුන් හෝ කියනු ඇත. එහෙත් තරුණ ජවයෙන්
මත්ව , ලෝකය වඩාත් යහපත් තැනක් වනු දැකීමේ විප්ලවකාරී  සිහින තුළ ගිලෙන,  තවමත් ලෝකය සැබැවින් අත් විඳ නැති ලාබාල සහෝදර විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් නොසැළකිලිමත් ලෙස පවසන ඔවැනි වදන් බැරෑරුම් ලෙස පිළිගැනීමට පෙර ඔබ දෙවතාවක් සිතීම යහපත් ය.
ඇඩෙලිටා පිළිබඳව විනිශ්චයකට එළඹෙන්නට පෙර ඇයට සිදුවූයේ කුමක්දැයි දැන කියාගැනීම වඩා ප්‍රඥා ගෝචර වනු ඇත. එක අතකින් බැලූ කල එය වෙනත් ඕනෑම අයෙකු පිළිබඳව විනිශ්චයකට පැමිණෙන්නට පෙර සිදු කිරීම අත්‍යවශ්‍ය නොවන්නේ ද ?
එය එසේ වග විනිශ්චයාසනයක හිඳ ගන්නා ඕනෑම පළපුරුදු විනිශ්චයකාරතුමෙකු ඔබට පැහැදිලි කර දෙනු ඇත. එකාකාර ගති සොබා ඇති මිනිසුන්ගේ , එකාකාර නඩු නිමිති සහිත නඩු හබ රැසකට එකම දිනයේ  මුහුණ දුන්න ද ඔවුන් තීරණයකට එළඹෙන්නේ එක් එක් අවස්ථාවේ, එක් එක් මනුෂ්‍යයාට අදාළ සියලු කරුණු කාරණා වෙන්  වෙන්ව සළකා බලා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවය. ඉතින් යමෙකුට අනුන්ගේ දේවල් පිළිබඳව කිසිදු හාංකවිසියක් නොදැන අනුන් විනිශ්චය පිණිස විනිශ්චයාසනාරූඪ නොවන්නට තරම් නුවණක් තිබීම ප්‍රමාණවත් වනු ඇත.

දෛව අභිලාෂ  - Destino Escrito ( Scripted Fate)Donde viven las historias. Descúbrelo ahora