රාත්‍රී මත්පැන් සාදය විසින් ඇල්වාරෝ ට සිය උදෑසන පමා කර තිබිණි. යන්තමට හැඳ පැළඳ ගත් හෙතෙම වේගයෙන් සිය යතුරුපැදිය ගල් ඇතිරූ පටු වීදි දිගේ පැදෙව්වේ එයට හිලව්වට මෙනි .
ඒ යතුරුපැදියේ ගිනි පිඹීම විසින් වස්කෝ ව තිගස්වා අවදි කරවනු ලැබීය.
ඔහු ව පමා කරවන ලද්දේ මත්පැන් මත නොව, රාත්‍රිය පුරා අවදි නෙතින් ඔහු ගිලී ගිය කල්පනා සාගරය ය.
ඔහු යම් තීරණාත්මක මංසන්ධිය ක පසුවෙයි. තවමත් සිතේ යම් දෙගිඩියාවකි.
එක්කෝ අද රෑට ඇල්වාරෝ ට මේ සියල්ලම පැවසිය යුතුය. එක අතකට ඔහු ද මේවාට සම්බන්ධ ය. නැතත් තමාට සිටින එකම ඥාතියා - නෑදෑ කමක් නැතත්- ඔහුය. පිහිටක් සොයා තමා ඇවිදින් වැටුණේ ඇල්වාරෝ ළඟ ය. එදා ද එසේ සිදුවිණි. අදද එසේ සිදුව ඇත.
ඉතිහාසය පුනරාවර්තනය වේ යැයි ඔහු කියැවූ පොතක සඳහන් ව තිබිණි.
එහි යම් සත්‍යතාවක් තිබෙන්නට පුළුවන.
ඔහු තව දුරටත් කල්පනාවට වැටුණේ උදෑසන ආහාර වේල සඳහා කීන්වා තලපයක් පිස, ආහාරයට ගන්නා අතර තුර ය.සමහර ගැටලු වලට ඔහුට විසඳුමක් දුන්නේ ඔහු ඒ කියැවූ පොත්පත්ය.
ඇල්වාරෝ ගේ නිවසේ ගත කළ කාලයේ දී ඔහුට මුණ ගැසුණු මනුවෙල් ගුරුතුමා ඔහුට යළිත් සිහිපත් විය.
තෙරේසා නැන්දා ගේ අසල්වැසියකූ වූ මනුවෙල් ගුරුතුමා වඩාත් වස්කෝ ට සමීප වූයේ තෙරේසා ගේ මරණයෙන් පසු, ඇල්වාරෝ නගරයෙන් පිටමං වූ පසුවය. ඇල්වා ඔහුට පවරා දුන් තෙරේසා ගේ නවාතැන තනිව ජීවත්වන්නට ඔහුට බරපතල වැඩි විය. ඇත්තෙන්ම එහි කුලිය බරපතල වැඩි විය.
ඔහු වැඩිපුර තිබූ බඩු මුට්ටු විකුණා දමා (ඇඳක් සහ පුටු කීපයක්, මේසයක්, කුඩා අල්මාරියක් හැර එහිවූයේ වළන් පිඟන් ස්වල්පයක් පමණි) මනුවෙල් ගේ නිවසේ කාමරයක කුලියට ආවේය.
ඔහුගේ දිවියේ ඥානාලෝකය මනුවෙල් වීය.මනුවෙල් විශ්‍රාම ලත් පාඨශාලාචාර්ය වරයෙකි. දැනුදු වස්කෝට ඔහුගේ වියපත් රැළි වැටුණු මුහුණත්, බොහොමයක් සුදු පැහැයට හැරුණු කෙස්සත්, දුර්වල පෙනීමක් සහිත පැරණි කළු උපැස් යුවලත්, දරිද්‍රතාවයෙන් බැට කෑ රෝගී කෙසඟ සිරුරත් , තියුණු ඥානවත් දෙනෙතත් මැවී පෙනෙයි. බැරෑඬි කටහඬත් ඇසෙයි. එක දිගටම කතා කරගෙන යන විට ඇතිවන වියළි කර්කශ කැස්ස පවා ඇසෙයි.
ඔහු වස්කෝ ගෙන් අය කළේ කාමර කුලිය පමණි. එහෙත් ඔහු අහාර පිසින ඕනෑම විටෙක වස්කෝ ට පංගුව ක් ඉතිරිව තිබිණි. නැත. එය එමීලියෝ ටය. ඔහු කොල්ලාව වස්කෝ යන නමින් හැඳින් වීම තරයේ ප්‍රතික්ෂේප කළේය.