දැන්නම් මහ රෑ පාන්දර තුනටත් කිට්ටුයි. මම තාමත් බොහොම අමාරුවෙන් නිදාගන්නේ නැතුව උඩ ඇදට වෙලා අයියා දිහා බලාගෙන ඉන්නවා. එයානම් රෑට කෑවත් හරි සුපුරුදු විදිහට ටේබල් එකට වෙලා පොත් දිගෑරගත්තා. මං නම් කෙලින්ම ඇදේ. ඇත්තටම මම මීට කලින් කවදාවත් අපේ අයියා පාඩම් කරනවා බලං ඉදලා නෑ. එහෙම බලන් ඉන්න තරම් මට හේතුවක් තිබිලත් නෑ.
සාමාන්‍යයෙන් මට ලයිට් දාලා තියනකොට නින්ද යන්නේ නෑ. ඒ නිසා අපේ අයියා පාඩම් කරනකොට කාමරේ ලයිට් ඕෆ් කරලා එයාගේ ටේබල් එකේ තියන කහපාට ටේබල් ලෑම්ප් එක දාගන්නවා. එකේ එලිය හරි ලස්සනයි. ඒකෙන් එන අමුතු එලියට අයියාව පේන්නේ චිත්‍රයක් වගේ. ඊටත් වඩා අර ටේබල් එක උඩ තිබ්බ තද රස්නේ කෝපී කෝප්පෙන් දුම දානකොට බලන් ඉන්න ආස හිතෙනවා.
අයියා පාඩම් කරන්න ගිහාම වටපිටාව ගැන අවදානයක් නෑ. එයා වෙනම ලෝකෙකට ගිහින් වගේ හැසිරෙන්නේ. තප්පර කටු කැරකෙනවා කියලා දන්නෙවත් නැතුව ඇති. නින්ද යනවා කියලා සැරින් සැරේට හදාගෙන බොන කෝපී වලට බඩ අම්බානක වේලවනවා ඇති..
මම ගොඩාක් වෙලා අයියා දිහා බලන් ඉදලා කල්පනා කරා. එයා කොයි තරම් මහන්සි වෙනවද කියන එක මම ඇස් දෙකෙන්ම බලාගත්තා. මගෙන් කිසි සපෝර්ට් එකක් නැතුව උදේ හවස ගහන රෝල මාරයි. ඒ අතින් බැලුවොත් මං අනිවාරෙන්ම මං ගැන ලැජ්ජ වෙන්න ඕනී. මගේ වටේ ඉන්න මිනිස්සු නිතරම මාව අයියා එක්ක සසදනකොට මම කොච්චර අපහසුතාවෙට පත් උනත් මං නිසා අයියා කොච්චර අපහසුතාවෙට පත් වෙලා ඇතිද?
සමහරක් ප්‍රශ්න වලට උත්තර නෑ. හරිම හිස් හැගීමක් දැනෙන්නේ
"Bzz... Bzz"
ඔන්න ඔන්න අර මහපාන්දර එන කෝල් එක..
අයියා ෆෝන් එක දිහා බලලා ඒක පැත්තට තල්ලු කරා. ටික වෙලාවක් ඒක රින්ග්ස් වෙලා කට් වෙලාම ගියා. ඒත් එකෙන් ආයෙත් සැරයක් කෝල් එකක් ආවම අයියා කොණ්ඩේ ආපස්සට ඇදලා ෆෝන් එක දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා. එයා ටිකක් මට පිටුපාලා වගේ ඉන්න නිසා මූණනම් පේන්නෑ. හැබැයි ඒ කෝල් එක එයාට මලම කරදරයක් වගේ හැසිරෙන්නේ.