අම්ම වෙනුවෙන් කරන්න තිබුණ හැම වැඩක්ම ලස්සනට පිළිවෙලට කරල අවසන් කළා.හැම දේම අවසන් උනත් ජීවිතේ අපහසුම කාර්තුව එළඹෙන්නෙ දැන් කියන එක මම දැනගෙන හිටියා.මේ දවස් අට නවයට මම ජීවිතේ පුදුම තරම් අභියෝග ගොඩකට මුහුණ දුන්නේ.අම්මා මම වෙනුවෙන් කියලා ඉතුරු කරලා තිබුණු සල්ලි ටිකත්, අත්තම්මා ගමේම තිබුණු සමිති සමාගම්වලට බැඳිලා තිබුණු ඒකෙන් හම්බ වුනු සල්ලි ටිකත් නිසා, අම්මගේ අවසන් කටයුතු ටිකත්,දානමාන පින්කම් කටයුතු ටිකත් ලස්සනට කරගත්තා.ඉතුරු උන සල්ලි ටික ලොකු අම්ම යන්න කලින් කියල ගියේ පොතකට දාගන්න කියල.ඉස්සරහට ජොබ් එකක් හොයා ගන්නකන් මටත් අත්තමටත් ජීවත් වෙන්න කීයක් හරි ඕන නිසා ඒ සල්ලි නාස්ති කර ගන්න එපා කියල ලොකු අම්ම කිවුවෙ මගේ ඔලුව අතගාමින්.මේ දවස් ටිකේම ගෙදර කීප දෙනෙක්ම හිටිය නිසා අපි දෙන්නට ලොකු පාළුවක් තනිකමක් දැණුනෙ නෑ.ඒත් දැන් මේ මුළු ගෙදරම පාළු වෙලා ගිහිල්ල වගේ.කිසිම කටඬක් නැතුව පුදුම මූසල බවක් තමයි තිබුණේ.වෙලාවකට ගේ ඇතුලේ හිටපු අත්තම්මා හුස්ම ගන්න හඬත්,ගේ පිළිකන්නෙන් ඇහුන පුංචි පුංචි සත්තුන්ගේ හඬත් නැත්නම් ගේ ඇතුල ඉදිකටුවක් වැටෙන හඬ පවා අහන්න තරම් නිහැඬියාවක් තිබුණා.
අම්මගෙ රාමු කරල තිබුණ ෆොටෝ එකට දාල තියෙන සුදු පාට මල් මාලය දකින හැම වෙලාවකම මම පුදුම විදියට අසරණ උනේ ඒ මූණෙ තිබුණ ලස්සන හිනාව මට නිතරම මැවිල පෙනුන නිසා.අම්මෙක් නැති ගෙදරක් කියන්නෙ හරියට පහනක් නැති අන්ධකාරයක් වගේ.කවදාවත් ඒ ගෙද්රට එළියක් ආපහු නොවැටෙන බව මට තේරුණේ මේ හැම දෙයක්ම දිහා බලාගෙන ඉන්නකොට.
"අම්මේ..අම්මේ.." අදත් පුංචි අම්මා ඇවිත් තියෙන්නෙ ඒ තරම් හොදකින් නෙමෙයි කියල මට තේරුණා.
"මොකද පුංචම්මෙ කෑ ගහන්නෙ."
"මම උඹත් එක්ක කතා කරන්න නෙමෙයිනෙ ආවෙ,මම ආවෙ මගේ අම්ම එක්ක කතා කරන්න.ඒක නිසා උඹ පලයන් පැත්තකට."
"අත්තම්ම නිදි මයෙ හිතේ."
"කමක් නෑ, මම ඇහැරවගන්නම්." මම තවත් ඇය සමඟ කතාවට නොගියෙ මගේ තරහත් වැඩි උනොත් මේක කොතනින් නතර වෙයිද කියල හිතා ගන්න බැරි උන නිසා.