"මම දන්නවා හැංගිමුත්තන් වගේ කොළ කෑලි ලිය ලිය දුන්න එක හරි නෑ කියලා. ඒත් කෙලින්ම කියන්න තරම් මට ගට් එකක් තිබුනේ නෑ මල්ලි. ඒකට සොරි"
"..........."
බ්රයන් ගේ ඔළුව නළල දෙපත්තෙන් රිදෙන්න ගත්තේ හිතට දැනෙන දේවල් මෙහෙමයි කියලා වෙන් කරලා අඳුනගන්න බැරි නිසා. කසුන් කියවගෙන කියවගෙන යන්නේ මොනවද කියලාවත් බ්රයන් ට සිහියක් තිබුණේ නෑ. එතකොට එයා මෙච්චර කල් හිතාගෙන හිටිය දේවල් ඔක්කොම එයාගේ හිතේ ඇදුනු මායාවක් විතරක්ද? ඒක එතකොට එයාගේ පැත්තෙන් විතරක් යාළුකමට වඩා එහා ගිය දෙයක්ද?
හිතෙන් එයාට කැමති වෙලා හිටියම ඇති කියලා හිතාගෙන හිටියත් දැන් පුදුම විදියට දුක හිතෙන්නේ ඇයි කියලා බ්රයන් ට හිතාගන්නත් බෑ. තමන් හරිම මෝඩයෙක් කියලා හිතෙන තරමේ වැරදි වැටහීමක් දැන් වෙලා ඉවරයි.
"මල්ලි මොනවහරි කියන්නකෝ. ප්ලීස්"
"අයියේ මට යන්න ඕනේ. සොරි"
"ඇයි මම මුකුත් වැරදි දෙයක් කිව්වද? බ්රයන් මට ඕනේ උනේ ඔයාට මේක කියන්න විතරයි. ඔයා මෙතෙන්ට ආවේ ඒකට කැමති නිසා නේ"
"මගේ ඔලුව රිදෙනවා"
"හරි ඔයා ඔහොම ඉන්නකෝ මම පැනඩෝල් දෙකක් ගෙනත් දෙන්නම්?"
"මට යන්න ඕනේ"
බ්රයන් පුටුවෙන් නැගිටලා යන්න හැදුවේ ඔළුව රිදෙන එක අමාරුවෙන් පාලනය කරගෙන. බ්රයන් ගේ හදවත පුදුම වේගෙන් ගැහෙනවා. මෙහෙම වෙන්නේ ඇයි කියලා බ්රයන් හොඳටම දන්නවා. මෙහෙම දැනෙද්දී කරන්න ඕනේ කියලා එයාගේ තෙරපිස්ට් කියලා තියෙන දේවල් මතක් කරගන්න බ්රයන් උත්සාහ කළා.එක,හුස්ම ගන්න එක ගැන හිතන්න. එකින් එක හුස්ම ගණන් කරන්න. ඒත් හුස්ම වැටෙනවා වේගේ වැඩි. එතකොට දෙක, ඇස් දෙක පියාගෙන ඇඟට දැනෙන විදිය දැනෙන දේවල් ගැන හිතන්න. ඇඟට දැනෙන්නේ බයක් අකමැත්තක් ලැජ්ජාවක් එක්ක එකතු වුණු හරිම ඍණාත්මක හැඟීම් ගොඩක්. ඒවා ගැන හිතන්න බෑ. එතකොට තුන මේ දේවල් පොඩි වෙලාවකට විතරක් වෙන ඇඟේ ෆයිට් ඕර් ෆ්ලයිට් රියැක්ෂන් එකක් විදියට හිතන එක.
"බ්රයන් ඉන්නකෝ ප්ලීස්"
කසුන් ක්ලාස් එකෙන් එලියට යන්න හදන බ්රයන් ගේ අතින් අල්ලගත්තා. කසුන් කියන්නේ බ්රයන් අකමැති කෙනෙක් නෙමෙයි. බ්රයන් ට යාලුවෙක්ට වගේම සලකපු කෙනෙක්. එයාගේ ඉන්ජරි එක ගැන හැමදේම හොයලා බලලා අලුතෙන් ටිකෙන් ටික ට්රෙන් වෙන්න කසුන් සෑහෙන්න උදවු කළා. ඒත් දැන් මේ ස්පර්ශය බ්රයන් ට දැනුනේ හරිම අපහසු විදියට. බ්රයන් එයාගේ අත ගසලා අත් ඇරගත්තා.