ඒ හිමිදිරිය නිසලය. හිරු අවදිව නැති අහස අඳුරුය. රාත්‍රිය පුරාවට ඇද හැළුණු වර්ෂාව නිසාවෙන් හාත් පස සීතලය.පොලව තෙත් වී ඇත.
දහරා අවදි වුයේ සිරුරම කිලිපොලා ගිය තියුණු වේදනාවකිනි.
" මිහි... " ඇය මිහින්ගේ උරහිසෙන් අල්ලා සෙලවුවාය.
" මිහි... " වේදනාව හුස්ම හිර කරවන සුළුය.
" හ්ම්ම්.. " මිහින් නිදිබර දෑස් විවර කළේය. " ඇයි දාරා "
" මිහි.. මගේ බඩ රිදෙනවා "
මිහින් කලබල විය. ඔහු වහා නැගිට යහන මත හිඳ ගත්තේය. පැති මේසය මත ඇති විදුලි පහන දැල්වූයේය.
" දාරා..ඒත් ඩේට්ස් වලට තව කල් තියනවනේ "
" ඔව්... " ඇය දෑතින්ම පිරුණු කුස බදා අසරණ දෑසින් බලා සිටී. " මේ පේන්ස් නෙවේ. මට තේරෙන්නේ නැහැ.. "
යලිත් ආ වේදනා රැල්ලක් නිසාවෙන් ඇය සුදුමැලි වුවාය.
" අපි හොස්පිටල් යමු " මිහින් යහනෙන් බිමට බැස කඩිනමින් කලිසමක් සහ ටී ෂර්ටයක් ගත ලා ගත්තේය.
ඉන් පසුව ඔහු දහරා හට බිමට බැසුමට සහය වූයේය. දෙපා බිම තිබු සැනින් වේදනාව නිසාවෙන් ඇය මිහින්ගේ සිරුරට වාරු වී බාහුව මිරිකා ගත්තීය.
" අනේ හරියට රිදෙනවා මිහි "
" අපි ඉක්මනට යමු. ඉන්න මං ටක් ගාලා බෑග් අර ගෙන එන්නම් "
ඔව්න් දියණිය වෙනුවෙන් තෝරා ගත් කළමනා සහ දරු උපතට අවශ්‍ය කළමනා අසුරා තිබු බෑගය මිහින් අතට ගත්තේය." අනේ මිහි.. මට බයයි "
මිහින් ඇය වටා නිදහස් සුරත යවා ඇය තුරුළු කර ගත්තේය. දහරා ලෙහෙසියෙන් බිය වන්නියක නොවේ.බිය වුවද නොවූ සෙයින් සිටීමට ඇය හපනියකි.ඇය මෙලෙසින් බිය වන්නේ දියණිය වෙනුවෙනි.විදුලි සෝපානයේ යන අතර අහම්බයෙන් මිහින් බිම බැලුවේය.
" දාරා.. " ඔහු සෙමෙන් ඇය ඇමතුවේය. " ඔයාට බ්ලිඩ් වෙනවා "
දහරා පහත බැලුවාය. වම් කකුල දිගට හැඳ උන් ගවොමට පහතින් රත් පැහැ බින්දු කිහිපයක් ගලා යයි
" අනේ මිහි... " ඇගේ දෑස් භීතියෙන් පිරින.එක් අතකින්, දෑතින්ම පුර්ණව නැගී ගත් කුස වැළඳ ගෙන ඉකි බිඳින බිරිඳගේ හිස පිරිමදිමින් මිහින් හැකි උපරිම වේගයෙන් රෝහල කරා රිය පැදවුයේය.
දෙවැනි වරටත් දුරකථනය නාද වන විට නේත්‍ර නොරිසසුම් සිතින් එය අතට ගත්තේය. ඒ දහරා ය. ඔහු පළමු වර ඇමතුම මග හැරියේ එනිසාවෙනි.මේ හිමිදිරියේ ඇය ඔහු අමතන්නේ ඇයි..