මාන්යගේ ගෙදර වත්තෙන් කඩාගෙන ආව සුදු ඉද්ද මල් අහුර අරන් ඊයේ ස්කෝලෙට පය ගැහුවට පස්සේ තමන්ගේ හිත නිවන්න පුළුවන් වුණු එකම තැනවුණු විහාරෙට ආව ආග්ය සපත්තු ගලවල ගිහින් ඉද්ද මල් බුඳුන්ට පූජා කළා.
ප්රධාන ගේට්ටුවෙන් ස්කෝලෙට ඇතුල් වෙන හැම ළමයම බුදුගෙට නාවත් එළියෙ ඉඳන්ම බුදු පිළිමෙට වන්දනා කරලා යන නිසා වැඩිවෙලාවක් ඇතුළෙ නොරැඳී එළියට ආව ආග්ය විහාරේ පහුකරන් දිගටම ඇවිදන් ගිහින් වමට හැරිලා ඉස්සරහට යද්දි දැකගන්න පුළුවන් වුණේ අළුත් ස්කෝලේ ආග්යගේ අළුත්ම පන්ති කාමරේ.
අක්කර පහළවක පැතිරුණු ස්කෝලේ තමන් අයිති පන්තිය හොයාගන්න වැඩි දුර යන්න නොවුණු එකට නන් ආග්ය හිත යටින් සතුටු වුණා. 12 C 2 වුණු පන්තියට ආග්ය ගොඩ වෙනකොට ළමයි දෙතුන් දෙනෙක් විතරක් පන්තියේ වාඩිවෙලා හිටියා. ඕනවටත් වඩා වේලාසන වැඩී.. හත වෙන්නත් තව විනාඩි පහළවක්ම තියෙනවා. ශංකිට තාම ස්කෝලේ පටන් නොගත්තත් ස්කෝලේ වෙනුවෙන් කරන්න තිබ්බ අමතර රාජකාරි එක්ක හත වෙද්දි ස්කෝලේ ඉන්න එක අනිවාර්ය වුණු නිසා ආග්යටත් වේලාසනින් ස්කෝලෙ එන්න සිද්ධ වුණා.
ඉතින් අද තමා දෙවැනි දවස. අඳුරන කිසි කෙනෙක් පන්තියෙ , ස්කෝලේ තියා පළාතෙවත් නැති වෙද්දි ආග්ය පන්තියෙ හිටපු කොල්ලන්ට බැල්මක් නොදීම ගිහින් පන්තියෙ එහා කොණේ මැද පේළියක කොනේම ඩෙස් එකකින් ගිහින් වාඩි වුණා. පන්තිය ඉස්සරහ ගහල තියන ඔරලෝසුවේ විනාඩි කට්ට දිහා බලන් හිටිය ආග්යට දැන් විනාඩි කට්ට කැරකෙනවට වඩා වේගෙන් පහුගිය මාස තුන ගත වුණා කියලා හිතුණා.
එදා ඉන්ටර්වීව් ඇවිත් එදා හවසම අම්මා එක්ක බස් එකේ ගෙදර ගිය ආග්ය මොන කතන්දරේ කිව්වත් ස්කෝලෙන් තමන් අතට ලියුමක් ලැබෙනකන් නොඉවසිල්ලෙන් මඟ බලාගෙන හිටියා. ඉතින් ඔය කාලෙම සිංහල අළුත් අවුරුද්දත් ලබද්දි මාන්යගෙන් අවුරුද්දට තෑගි ලැබුණු ඇඳුම් කීපයත් නයනාගෙන් මාන්යගේ ගෙදරට ලැබුණු කැවිලි පෙට්ටියත් ඇරෙන්න අනිත් හැමදේම දෙපාර්ශවයෙම ඈයොන්ට සුපුරුදු පරිදිම සිද්ධ වුණා.
ඊළඟට වෙසක් පෝයත් පහුවෙලා පොසොන් පෝය ලබන්න කලින් ආග්ය දින ගැන ගැන බලන් හිටිය සුභ ආරංචිය ආග්ය අතට ලැබුණා. ඒ වෙනකොට ශවීන්ටත් තමන් බලාපොරොත්තු වුණු පාසලෙන් බඳවාගැනීමේ ලියුම ඇවිත් තිබුණු නිසා යාළුවෝ දෙන්නම එකිනෙකා වෙනුවෙන් අවංකවම සතුටු වුණා.