V30පුස්තකාලයේ සහ කෞතුකුගාරයේ ගතවූ වෙහෙසකර දිනයක් ,බොහෝ පමා වී නිමා කළ ඇඩෙලිටා පසුදින නිවාඩුව බලාපොරොත්තුවෙන්, අවීලා ගේ සෙවණේ සුපුරුදු නිවහනේ පසුවූවාය. රෆායල්, ලීමා හි අත්‍යවශ්‍ය කටයුතු කීපයකට පසුදින යන්නට නියමිතය. එතකොට එමීලියෝ?
ඒ කරදරකාරයා යකාට ගියාවේ!
ඇය වෙහෙස දුරු කරගන්නට දිය නෑමෙන් අනතුරුව ලිහිල් ඇඳුමකින් සැරසී හිසකෙස් මුදා හැර මධුවිතක් තොලගාමින් සිටින්නේ මේ මොහොතේද එමිල් ගැන සිතමිනි. මේ මොහොතේද ඔහු හා උරණ වෙමිනි.
ඔය තරම් තරහින් සිටින්නට තරම් හේතු කාරණා මොනවාද ඇඩෙලිටා?
පැරණි නිවස්නයේ ආරුක්කු හැඩැති කවුළු වීදුරුව රාමු කර දක්වන්නේ අන්දීස් කඳුවැටියේ බටහිර පෙදෙසයි. ඇඩෙලිටා අත රැඳී ඇති වීදුරුවෙන් පිස්කෝ මත්පැන් උගුරක් පානය කළාය. මෑතක සිට ඇය වැඩි වැඩියෙන් පිස්කෝත්, සිගරැට්ටුත් පරිභෝජනය කරයි. ඇගේ සිතුවිලි චංචල වෙයි . ඇගේ කළු පැහැති දෙනෙත එක එල්ලේ අන්දීසය දෙසට එල්ල වී ඇති බවක් පෙනෙන්නේ පිටතින් සිට ඇය දෙස බලන්නෙකුටය. ඇගේ දෙනෙත හරහා මනසට ඇතුල් වන්නෙකුට ඒ කාල දෙනෙතේ කාන්තිය වැඩි දියුණු කරන තියුණු අළු දෑසක දඩබ්බර දිලියුමක්, ඇති වී නැති වී යනු දැක ගත හැකි වනු ඇත. .
අන්දීසය එදා මෙන්ම නොසැලෙන බැල්මෙන් ඇය දෙස බලාගත්වනම ය.
එදා ගත් තීරණයේ අංශු මාත්‍ර වෙනසක්වත් නැතිය.
එසේ නම් වැරදුණේ ඇයටද ?
‘ඒ උද්ධච්ච මෝඩයා!
මොකක්ද ඒ කළේ ?’
ඇය කවුළුවෙන් පිටත බලමින් රවමින් පසුවූවාය.
‘හහ්..එච්චර හයියක්…!
නැහැ..නැහැ..
ඒ සේරම මගේ වැරැද්ද..
මට මොනවා වුණාද..?
මං මොනවද ඒ කළේ…?
අර මට පෙනිච්ච දේවල් එක්ක ඔලුව හොඳටම අවුල් වෙලානේ හිටියේ..’
'ආයාර්..!
කපටි ද්‍රෝහියා..
චස්කා, අනුවණ චස්කා.. '