3. පොත්ගුල

66 16 0
                                    

පොත්ගුල ඉන්ද්‍රජාලික හා රණශූර යන අංශ දෙකටම අවැසි දෙයින් සමන්විත විය. එනිසා එය අතිවිශාලය. පොත්ගුල නැගෙනහිර මණ්ඩපය හා බටහිර මණ්ඩපය ලෙස විශාල කොටස් දෙකකට බෙදා තිබුණි. නැගෙනහිර මණ්ඩපයේ වූ දෑ අතර, පැරැන්නන්ගේ මිල කළ නොහැකි පෞද්ගලික සටහන්ද ඇතුළුව මායාගුලි සැකසීම හා ශාකමය ඖෂධ පිළිබඳව සෑම වර්ගයකම සාහිත්‍යය අඩංගු විය. බටහිර මණ්ඩපයේ ප්‍රදර්ශනය කර තිබුණේ ලොන්ග් ෂිආන්ග් මහද්වීපයේ ඉතිහාසය හා භූගෝලීය පිහිටීම පිළිබඳ තොරතුරුය. ශක්ති පාලන ක්‍රමවේදයන් හා සටන් කලාවන් පිළිබඳ තොරතුරුද එහි අඩංගු විය.

නමුත් ඕනෑම අයෙකුට එතුළට ගොස් එම තොරතුරු පිරික්සා බැලීමට අවසර ලැබෙන්නේ නැත. නවක ශිෂ්‍යයෙකු වූ යූ ෂිආඕ මෝ වැන්නෙකුට ඉඩ ලැබෙන්නේ නැගෙනහිර හා බටහිර මණ්ඩපයන්හි පළමු මහලට ඇතුළුවීමට පමණි. ඔහු නිත්‍ය ශිෂ්‍යයෙකු බවට පත්වූ විට හෝ විශේෂ අවසරයක් ලබාගත් අවස්ථාවක් හැරුණුකොට, ඔහුට ඉහළ මහල්වලට ඇතුළුවීමට සුදුසුකමක් නොමැත. නමුත් යූ ෂිආඕ මෝට මෙම විකල්ප දෙකම ළඟා කරගත නොහැක. අනෙක් අතට, දැනට ඔහුට ඉහළ මහල් වෙත පිවිසීමට අවශ්‍යතාවක්ද නොමැත.

පොත්ගුල වෙත යන යූ ෂිආඕ මෝට ඉලක්ක දෙකක් තිබුණි. පළමු ඉලක්කය ලොන්ග් ෂිආන්ග් මහද්වීපයේ ඉතිහාසය වටහාගැනීමයි. මෙය කුමන ආකාරයේ ලොවක්දැයි ඔහු දැනගත යුතුය. දෙවන ඉලක්කය, අඩ වසරකින් පැවැත්වෙන ඇතුළත්වීමේ පරීක්ෂණයයි. ඔහුට වෙළඳ හා රණශූර යන අංශ දෙක කෙරෙහිම කිසිදු බලාපොරොත්තුවක් නොමැත. නමුත් ඔහුට තවමත් ඉන්ද්‍රජාලික අංශය පිළිබඳව නම් සුළු බලාපොරොත්තුවක් ඇත. නමුත් ඉන්ද්‍රජාලිකයෙකු වීම යනු කුමක්දැයි ඔහුට කිසිදු අදහසක් නොවූ නිසා, ඔහු එය තේරුම් ගැනීමට උත්සහ දැරිය යුතුය.

අතරමංවීමට ගිය යූ ෂිආඕ මෝ අවසානයේදී පොත්ගුලට යන මඟ අසාගැනීමට සමත්විය. ඉන්පසුවද ඔහුට එය සොයාගැනීමට හෝරාවක් පමණ ගතවිය. ඔහු ඈත තියාම මහේශාක්‍ය මන්දිරයක් දුටුවේය. එය මත 'පොත්ගුල' ලෙස සටහන් කර තිබුණි.

බැලූබැල්මටම කිසිදු බාහිර සැරසිල්ලක් නොමැති සරල අක්ෂර වුවද, ඒවායෙහි ගැඹුරු අරුතක් ගැබ්වී තිබූ නිසා, එහි මහේශාක්‍ය ප්‍රභාවක් විය. යූ ෂිආඕ මෝ නොසන්සුන්ව කෙල ගිල්ලේය, තහනම් නගරයටත් 1 වඩා තේජසකින් යුත් පොත්ගුල ඉතාමත් ප්‍රතාපවත්ය.

එම ප්‍රදේශයට ඇතුළු වූ වහාම යූ ෂිආඕ මෝගේ නෙත ගැටුණේ, දෑස් පියාගෙන, නැගෙනහිර හා බටහිර මණ්ඩප දෙක මධ්‍යයේ අසුන්ගෙන සිටිනා, රිදීවන් කේශ කලාපයක් සහිත මහළු මිනිසෙකි. ඔහු එහි ළඟාවනවාත් සමඟම මහළු මිනිසා එක්වරම ඔහුගේ දෑස් විවර කළේය. ඔහුගේ දීප්තිමත් හා තියුණු දෑස් පිටතින් පෙනෙනා මහළු පෙනුම හා සැසඳුණේ නැත. කාලයක් තිස්සේ එක් රැස්වුණු අත්දැකීම් හේතුවෙන් රැලි වැටීගිය, පිහිතල ද්විත්ත්වයක් සේ තියුණු දෑස් යුගලය යූ ෂිආඕ මෝ දෙස එක එල්ලේ බලා සිටියේ, ඔහුට තවදුරටත් ඉදිරියට ගමන් කළ නොහැකිවනසේ ඔහුව භීතියට පත් කරමිනි. ඔහු වෙත බැල්මක් හෙලූ මහල්ලා කිසිදු හැඟීමකින් තොරව කතා කළේය. "ඔබේ නාම ඵලකය ලබාදෙන්න."

යූ ෂිආඕ මෝ ගල් ගැසුණද, ඔහු සතුව සැබවින්ම නාම ඵලකයක් ඇති බව ඉක්මනින්ම වටහාගත්තේය. කලබලයෙන් එය පිටතට ගත් ඔහු ප්‍රවේශමෙන් එය පිළිගැන්වූවේය. ඵලකය ලබාගත්තාට පසු මහල්ලා කිසිවක් කළ බවක් පෙනෙන්නට නැත. යූ ෂිආඕ මෝ දුටුවේ ඔහු එය ලබාගෙන තත්පර දෙකකට පසු ආපසු ලබාදෙන ආකාරය පමණි. ඉන්පසු ඔහු මෙසේ පැවසීය, "යූ ෂිආඕ මෝ, නවක ශිෂ්‍ය, ඇතුළුවීමට අවසර ඇත්තේ නැගෙනහිර මණ්ඩපයේ පළමු මහළට පමණයි." ඒ සමඟම කිසිවක් ඔහු වෙත පියඹා ආවේය. යූ ෂිආඕ මෝ ඉවෙන් මෙන් එය මඟහැරීමට උත්සහ දැරුවද, ඊට ප්‍රමාණවත් තරම් කාලයක් නොවීය. *පා* ශබ්දයක් නංවමින් ඔහුගේ හිසේ හැපුණු එය බිම වැටුණේය. හිස ඔසවා බැලූ ඔහුට මහල්ලාගේ බරපතල පෙනුමෙන් යුත් මුහුණ තුළ ඇතිවූ ඉතා සුළු චලනයක් දැකිය හැකිවිය.

"එය භාවිතා කර ඔබට පොත්ගුලට ඇතුළු විය හැකියි." එසේ පැවසූ පසු මහල්ලා ඔහුව නොසලකා හැරියේය.

මහල්ලා දෙස බැලීමට තරම් නිර්භීත නොවූ යූ ෂිආඕ මෝ ලැජ්ජාවෙන් යුතුව එම වස්තුව අසුලාගෙන බටහිර මණ්ඩපය වෙත දිව ගියේ, නුදුරු අනාගතයේදී ඉන් පිටවීමට අදහසක් නොමැතිවය.


සටහන්

1. තහනම් නගරය - චීන අධිරාජයාගේ මාළිගය

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ