14. තවත් බොහෝ දුර යා යුතුයි

58 14 0
                                    

ඒ පිළිබඳව බොහෝ දෙනාගෙන් විමසීමෙන් අනතුරුව යූ ෂිආඕ මෝ අවසානයේදී ලකුණු පිළිබඳව වටහාගත්තේය. එක් මායා ශාකයක් ලකුණු පහක් වටී. භෝජනාගාරය හෝ මායා ශාක ශාලාව පිරිසිදු කිරීමෙන් අයෙකුට දිනකට ලකුණු විස්සක් ලබාගත හැකිය. එය එතරම් විශාල අගයක් නොවූවද, එය සුළුකොට තැකීමටද නොහැකිය. නමුත් සෑම දෙනාටම මෙසේ වැඩ කිරීමට අවස්ථාවක් නොමැති හෙයින් එය කාලවේලාව අනුව බෙදා තිබුණි.

ප්‍රධාන ශිඛරයේ සිටිනා ශිෂ්‍ය සංඛ්‍යාව සුළුපටු නොවීය. පොහොසත් ශිෂ්‍යයන් කිහිපදෙනෙකු හැරුණුකොට ඔවුන් බොහෝ දෙනෙක් සාමාන්‍ය පැලැන්තියේ අය වූහ. එනිසා ඔවුන් සියළු දෙනාම මෙම රාජකාරි කිරීමට අවස්ථාවක් ලබාගැනීමට උත්සුක වූහ. වැඩිමහළු සිසුන්ගේ ඖෂධ උයන් රැකබලාගැනීමේ කාර්යය මේ අතරින් විශේෂ වූයේ, එය සාමාන්‍යයෙන් පහසු කාර්යයක් වුවත් එයට ලැබෙනා ලකුණු ප්‍රමාණය සාපේක්ෂව ඉහළ අගයක් ගත් නිසාය. එනිසාවෙන් කිසිසේත්ම මෙම රාජකාරි කිරීමට පොරකන අයවළුන්ගේ අඩුවක් නම් නොවීය.

අයෙකු ඒ වෙනුවෙන් සටන් වැදුනද ඔහුට ඒ සඳහා අවස්ථාවක් ලැබේ යැයි නිසැකවම පැවසිය නොහැක. එසේ වූයේ මේ සඳහා පුද්ගල සබඳතා ඉතා වැදගත් සාධකයක් වූ බැවිනි. උසස් පුද්ගලයෙකු යමෙකු නිර්දේශ කළ විට, එම අවස්ථා ලබා ගැනීම සාර්ථක වීමට ඇති සම්භාවිතාව සියයට අසූවක් පමණ විය. කිසිදු සබඳතාවක් නොමැති කෙනෙකුට එම අවස්ථාව තමාට හිමිවේයැයි සිහිනෙන්වත් පැතිය නොහැක. ඔවුනට නිකායේ ජේෂ්ඨ සිසුන් ඉදිරියේ පෙනී සිටීමට පවා නොහැකිය.

මෙම තීරණාත්මක කරුණ පිළිබඳව සිතා බැලූවිට, ඇතැම් අය අනිකුත් ශිෂ්‍යයන් හා කුළුපග වීමට යුහුසුලු වූයේ කුමක් නිසා දැයි යූ ෂිආඕ මෝට වැටහුණේය. එය එසේ වුවද, යූ ෂිආඕ මෝ එක්වරම ඔහුගේ ජේෂ්ඨයන්ට සමීප වීමට උත්සාහ දැරුවේ නැත. තමා දැඩි උද්යෝගයකින් යුතුව ඔවුන් වෙත සමීප වීමට උත්සාහ දැරුවහොත් ජේෂ්ඨයන් තමාට කැමැත්තක් දක්වාවියැයි සිතීමට තරම් ඔහු උඩඟු නොවීය. ෆැන්ග් චෙන් යුඅ පිළිබඳව නම් ඔහුගේ සිහියට නැඟුණේවත් නැත. ඔවුන් කීපවරක් කතාබස් කර තිබුණද, දා ශිශියොංග් කුමන ආකාරයේ තැනැත්තෙකුදැයි දන්නේ කවරෙක්ද.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමDove le storie prendono vita. Scoprilo ora