ලින්ග් ෂිආඕ පිටව ගිය පසු, තවමත් තමාට සිදු කළ නොහැකි වූ යමක් ඇති බව යූ ෂිආඕ මෝට සිහිපත් විය. මින් පෙර, ඔහු මායා ශාක ශාලාව වෙත ගිය විට, චාඕ ශිෂුට මායා ගුලි ලබාදෙනු හැරුණුකොට, කඳු පාමුලට යෑමට වු යැන් ශිශියොංග්ගෙන් අවසර ඉල්ලා සිටීමටද ඔහුට අවැසි විය.
සෑම සිසුවකුටම මසකට දෙවරක් කඳු පාමුලට යෑමට අවසර ලැබුණු අතර මෙම මාසයේදී යූ ෂිආඕ මෝට තවත් එක් වාරයක් ඉතිරිව තිබුණි. එබැවින් ඔහු තවත් දෙදිනකින් එය භාවිතා කිරීමට සැලසුම් කර තිබුණේ දින කිහිපයක් ගත වන විට එම මස නිමා වනු ඇති බැවිනි. ඔහු ඉන්පසුව ගියහොත් ඔහුට එක් අවස්ථාවක් අහිමි වනු ඇත. මේ වන විට ඔවුන් එකම ශිෆුගේ සිසුන් වූ බැවින්, වු යැන් ශිශියොංග් පැකිලීමකින් තොරව ඔහුට අවසර ලබා දුන්නේය.
යූ ෂිආඕ මෝ පසුදින මෙය ඔහු දැකීමට එහි පැමිණි ලින්ග් ෂිආඕට පැවසීය.
ඔහුට කඳු පාමුලට යෑමට අවැසි බව දැනගත් ලින්ග් ෂිආඕ ඔහු කිරිමට සැලසුම් කර ඇත්තේ කුමක්දැයි විමසුවේ නැත. ඔහු දීප්තිමත් සිනහවක් පාමින් මෙසේ පැවසීය, "කෙබඳු අහඹුවක්ද, මා හටද කඳු පාමුලට යෑමට අවැසියි. අප දෙදෙනා හෙට දින එක්ව කඳු පාමුලට යමු."
ඔහුට එය පැවසීම පිළිබඳව යූ ෂිආඕ මෝ බෙහෙවින්ම පසුතැවුණේය. "ඔබ ආපසු පැමිණියේ පෙරදින නොවේද? ඔබට යළිත් යෑමට අවැසි කුමටද?"
"එය ටියෑන් ෂින් නිකායේ පැවරුමක්. සෑම මසකම රණශූර අංශයේ සිසුන් පුහුණුව සඳහා පිටතට යනවා. දා ශිශියොංග් ලෙස මා ඔවුන්ව මඳක් රැකබලා ගත යුතුයි. එසේ නොවුනහොත්, ඔවුන් දිනකට හෝ දෙකකට පසුව මිය යෑමට ඉඩ තිබෙනවා. ටියෑන් ෂින් නිකායේ සැකයට තුඩු දීමෙන් වැළකෙනු පිණිස නොවේ නම්, මා එහි යන්නේ නැහැ. නමුත්... ඔබේ ස්වරයට සවන්දීමෙන් පෙනීයන්නේ, ඔබට මා හා කඳු පාමුලට යෑමට අවැසි නැති බව ද?"
ලින්ග් ෂිආඕ යූ ෂිආඕ මෝට පැවරුම පිළිබඳව පැවසීමට පැකිලුනේ නැත. සැබැවින්ම එය අතිශයින් රහසිගත කරුණක් නොවීය. නමුත් අවසන් කොටස පවසන විට, ඔහුගේ ස්වරය තරමක් තර්ජනාත්මක විය.
යූ ෂිආඕ මෝ යුහුසුලුව සිය හස්තයක් වැනුවේය. "නැත, නැත, ඔබ පමණට වඩා ඒ පිළිබඳව සිතනවා."
YOU ARE READING
උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුම
Fantasy"ඔබ මාගේ තොල් සිපගත්තේ කුමටද?" " ඔබේ තොල් මත මී පැණි තැවරී තිබේද? ඒවා කෙතරම් මිහිරිද යත් මට එය අත්හැරිය නොහැකියි." "මගේ තොල් මඳක්වත් මිහිරි නොවේ. ඇතැම්විට මිහිරිවන්නේ ඔබේම දෙතොල් විය හැකියි." "එසේනම් ඔබට ඒවා මිහිරිදැයි පිරික්සිය හැකිද? මට එය තහවුරු...