13. ආත්මයේ ශක්තිය

59 17 2
                                    

පසුදින යූ ෂිආඕ මෝ සිය කුටියෙන් පිටතට පැමිණෙන විටත් ඔහුගේ අසල්වැසි ශිෂ්‍යයෝ මාය ශාක ශාලාව වෙත පිටවී ගොස් සිටියහ. ඔවුන් සමඟ යූ ෂිආඕ මෝගේ සබඳතාව එතරම් සමීප හෝ දුරස් නොවීය. සාමාන්‍යයෙන් ඔවුන් එකිනෙකා හමු වූ විට ඔහු කළේ සුපුරුදු ලෙස ඔවුන්ට ආචාර කිරීම පමණි. එනිසා නිසැකවම ඔහුට ඔවුන් සමඟ ඉතා සමීප සබඳතාවක් තිබුණේ නැත. ඔවුනුත් තමන් වැටී සිටිනා අසීරු තත්ත්වය පිළිබඳව වටහාගෙන සිටිනවා විය යුතුය. සැබැවින්ම ඔවුන්ගේ සහජ හැකියාව ද එතරම් උසස් නොවීය. එමෙන්ම ඔවුන් නවක ශිෂ්‍යයෝ ද වූහ. එනිසා ඔවුන් වඩාත් සැලකිලිමත් විය යුතු වූ අතර, ඔවුන් උදෑසනම වැඩිමහළු සිසුන් සොයා පිටව ගියේ ඔවුන්ගේ සිත් දිනා ගැනීමේ අටියෙන්ය. යූ ෂිආඕ මෝ එහි පැමිණි අන්තිමයා විය.

නැවත වරක් ඔවුන් කැටුව යෑමට පැමිණි පුද්ගලයා වූයේ දා ශිශියොංග් ෆැන්ග් චෙන් යුඅය. පෙර යූ ෂිආඕ මෝ පිළිබඳව සිත පැහැදීමෙන් සිටි ඔහු, යූ ෂිආඕ මෝ පැමිණි විට පමා වීම පිළිබඳව ඔහුට තරවටු නොකර, ඔහු පිළිගනිමින් හිස සැලුවේය. දා ශිශියොංග් ඔහුට තරවටු නොකළ බව දුටු විට, ඔහු වෙනුවෙන් එහි රැඳී සිටීමට සිදුවීම පිළිබඳව සිත නොසතුටින් සිටි අනෙක් සිසුන්ගේ සිත් තුළ ඔහු පිළිබඳව වූ අකමැත්ත තවත් වර්ධනය විය. තමා පමාවීම පිළිබඳව ලැජ්ජාවෙන් සිටි යූ ෂිආඕ මෝ, අන් අය ඔහු හා අමනාපයෙන් සිටින බව වටහාගත්තේ නැත. ඔහු බොහෝ රෑ වනතුරු කියවමින් සිටි නිසා, ඔහු පමාවී අවදි වීම නොවැළැක්විය හැකි විය.

ෆැන්ග් චෙන් යුඅ එදින පාඩම ආරම්භ කළේ යූ ෂිආඕ මෝ අසුන් ගත්තාට පසුවය. ඉන්ද්‍රජාලිකයෙකුගේ කාර්යය වන්නේ මායාගුලි නිස්සාරණය කිරීමයි. නමුත් කෙනෙකුට එය කිරීමට අවැසි වූ පමණින්ම එය කළ හැකි බව ඉන් අදහස් වන්නේ නැත. ඒ එය කිරීම සඳහා අවශ්‍ය වන තවත් එක් වැදගත් සාධකයක් තිබූ නිසාය: ඒ ආත්මයේ ශක්තියයි. මෙම ශක්තිය තිබුණේ වර්ණවත් රශ්මි ප්‍රභා සහිත ආත්මවලට පමණි. එනිසා ඉන්ද්‍රජාලිකයෙකු වීමේ පළමු පියවර මෙම ශක්තිය උත්තේජනය කිරීමයි. ෆැන්ග් චෙන් යුඅගේ පාඩමේ ඉතාමත් වැදගත් අංගය වූයේ මෙම ශක්තිය උත්තේජනය කරනා ආකාරයයි.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now