එදින සවස් යාමය වෙනදාටත් වඩා අඳුරින් පිරී පැවතියේ සිදුවීමට පැවති යමක් අනතුරු ඇඟවීමට මෙනි. නමුත් ඒ ඇඟවීම කිසිදු තැකීම නො කළ මම මාගේ ගණිතය ටියුෂන් පංතිය අවසන් වී නිවස වෙත ඇවිද යමින් සිටියෙමි. වීදි පහන් මා හට යම් උපකාරයක් කරන ලෙසින් ඔවුහුගේ ආලෝක මා වෙනුවෙන් දල්වා සිටියහ.
අවට වූ අන්ධකාරය මගේ සිත සලිත කළ ද ස්වභාවයෙන් ම පිරිමින් හට උරුම වූ පුරුෂ දහිරිය පෙරටු කර ගෙන මම ඒ අන්ධකාරය තුළට ඇවිද ගියෙමි. තනිකම මගේ හදවතින් අරඹා සියළු නහරයක් නහරයක් පාසා දිව යන්නට විය.
තාර දැමූ මාවත මත පාවහන් ගැටීමෙන් මෘදු හඬක් නැඟුණු අතර එම හඬ ම මා හඹා එන්නට විය. නැඟ එමින් තුබූ සඳ දේවියගේ කැඳවීමෙන් අවදි වූ වවුල් රංචුවක් ඈ වෙතට පියඹා ගියහ.
තවත් මාස දෙකකින් සාමාන්ය පෙළ විභාගය පැවති බැවින් පාඩම් කිරීම උදෙසා හැකි විගස නිවස වෙත යාමට මා හට ඇවැසි විය. මාගේ මව ද මේ වන විට මා එනතුරු නිවසේ මඟ බලමින් සිටිනු ඇත.
නමුත් සොබාදහම මා හට පැවසීමට උත්සහ කළ දේ තේරුම් නො ගත් නිසාවෙන් ද කොහේදෝ එය සිදු විය. එය මා වෙතට ම පියඹා ආවේ ය.
" ආ....හ්....... "
මම මාර්ගය හරහා මාරු වී අනෙක් පසට පියමනිමින් සිටියෙමි. නමුත් එක් වර ම වේගයෙන් කළු පැහැති ඩිෆෙන්ඩර් රථයක් මා වෙත වේගයෙන් ධාවනය වූයේ මා හට කිසිවක් සිතා ගැනීමට හෝ අවසර නො දෙමිනි.
මම කිසිවක් කර ගත නො හී තදින් මගේ දෙනෙත වසා ගත්තේ ලබීමට නියමිත වූ දරුණු වේදනාවෙන් කුඩා හෝ සමාවක් ලැබීමේ අරමුණෙනි. නමුත් මම දනිමි. මාගේ ඉරණම දනිමි. දෑතින් වැසුණු මාගේ මුහුණ මතින් භීතිය ගලා ගියේ ය.
" අනේ දෙවියනේ... මාව බේරගන්න..."
නමුත්... මා හට කිසිවක් වූයේ නැත. මා බලාපොරොත්තු වූ වේදනාවක් මා හට උරුම නො වීය. කුමක් සිදු වුණිද? මා හට දැනී ගිය එක ම දෙය වූයේ වේගයෙන් අහස් කුස හරහා පා වී යන්නා වූ හැඟීමකි. වේගවත් සුළං රැළිති මාගේ කම්මුල් සිප ගත්තේ ය. කිසිවක් වටහා ගත නො හී මම දෑස් හැර බැළුවෙමි.
මා හට පළමු ව දැක ගත හැකි වූයේ තියුණු කාල වර්ණ දෙනෙතකි. තද කළු පැහැ සටන්කාමී ඇඳුමකින් සැරසී උන් පුද්ගලයෙක් මා දෑතට ඔසවා ගෙන ගොඩනැගිලි මතින් පනිමින් දිව යන්නට වූයේ ය. ඔහු නම් මනුශ්යෙකු විය නො හැක. මන් ද එවන් වූ වික්රමයන් කෙසේවත් මිනිසෙකුට නම් කළ නො හැකි ය. අවසානයේ ඔහු විසල් ගසක් මතට පැන එයින් රූටා පොළොව වෙත ළඟා වූයේ ය. මාගේ ඇඟට රුධිරය ඉනුවේ ඒ මොහොතේ දීයි.
" ඔයා කවුද?"
මම මා හට කතා කර ගත හැකි වූ ප්රථම අවස්ථාවේ දී ම විමසූවෙමි. ඔහු පිළිතුරු දීමට ප්රථම මා පොළොව මතින් තැබුවේ ය.ඔහු මට වඩා අඟලක් පමණ උසින් වැඩි වූ සිහින් එහෙත් ශක්තිමත් සිරුරකින් හෙබි වූවෙකි. ඔහුගේ මුහුණ මා හට දැක ගත හැකි වූයේ නැත. මන්ද ඔහු ඇඳ සිටි ඇඳුම මඟින් මුළු සිරුර ම හා මුහුණ
ද වැසී පැවතිණි. මා හට දර්ශනය වූයේ අන්ධකාර සාගර පතුළ තරමට ම ගැඹුරු වූ ඔහුගේ කාල වර්ණ කිණිසි තුඩු මෙන් තියුණු දෙනෙත පමණි.
" Black Tiger. "
ඔහු පැවසූවේ එපමණකි. එසැනින් ම ඔහු නැවතත් බිමට බට රූස්ස වෘක්ෂ රාජයා මතින් ම ඉහළට නැඟී ගොඩනැගිලි මතින් පැන යන්නට වූයේ ය. අවසානයේ මම එහි තනි වූයෙමි. නමුත් ඒ යමහල් පාෂාණ කළු දෙනෙත නම් මගේ සිතින් ඉවත් කර ගත හැකි වූයේ නැත.
ඔහු මා ගෙනගොස් තබා ඇත්තේ මගේ ම නිවස ඉදිරියෙන් බව වහා වටහා ගත් මම හැකි විගසින් ම නිවස වෙත පිය නැඟූවෙමි.
*********************************************************************************************
මේ මගේ පළවෙනි whatpad novel එක. අඩුපාඩු තියනවනම් කියන්න. මොකද කියන්නේ ඔයාලා.... මම දිගට ම ලියන්නද???