පසුදින උදෑසන මා අවදිවූයේ දෙදෙනෙකුගේ සංවාදයක් හේතුවෙනි. එහි කොටසක් මා හට අසුලා ගත හැකි විය. එහි වූයේ වෙනත් කවුරුත් නොව දිව්‍යායි. ඇය තවත් මැදි වයසේ උන් මිනිසෙකු සමඟ කෙළවරකට ම වී රහසින් මෙන් කතාකරමින් උන්නා ය. එම මිනිසාගේ කැරලි ගැසුණු කොණ්ඩය හා රැවුල අතරින් පතර සුදු වී අළු පැහැයට බර වී තිබුණි. ඔහුගේ මදක් වක් වූ නාසය හා පුළුල් නළල් තලය බුද්ධිමත් බව කියාපෑවේ ය.
ඔහු හැඳ සිටියේ සම්පූර්ණ යුරෝපීය ඇඳුම් කට්ටලයකි. බැලූ බැල්මට නම් ඔහු ගෙවන්නේ සුවපහසු දිවියක් බව කිව හැක. එසේ ම අඩි හයක් පමණ උස් වූ ඔහු නිසි ශරීර යෝග්‍යතාවයෙන් පසු වන බව ද පෙනී ගියේ ය. එසේ ම ඔහුගේ ඝණ ඇහිබැමට යටින් වූ බුද්ධිමත් දෑස රණකාමී බවක් පෙන්නුම් කළේ ය. පළමුවෙන් ම මා හට ඇසුණේ දිව්‍යාගේ හඬයි. ඇය සිටියේ තරමක් කෝපයෙනි.
" ඒත් සර් ඔයා හොඳට ම දන්නවා මේක කරන එක මොනතරම් අනතුරුදායක ද කියලා. මට මේක කරන්න දෙන්න බැහැ! "
" එයාට ඒකෙන් අනතුරක් වෙන්නේ නැහැ S-13 ඔයා ම තමයි එයාගේ හැකියාව අගය කළේ... එයාට අවස්ථාවක් දීලා බලමු. "
" ඔව් අවස්ථාවක් දීලා පස්සේ බ්‍රේන් වොශ් කරන්න. ඒක හරියන වැඩක් නෙමෙයි. අනිත් එක හැකියාව තිබ්බට විතරක් මදි. එයාට වයස මදි... "
" ඊට වඩා අඩු වයසේ අය ඕනි තරම් ඉන්නේ... මට තේරෙන්නෙ නැහැ ඇයි ඔයා එයාට ඒ තරම් වෛර කරන්නේ කියලා... "
දිව්‍යා ආවේගයෙන් කළ හේතු දැක්වීම්වලට ඔහු සන්සුන් ව පිළිතුරු දුන්නේ ය. අවසානයේ දිව්‍යා සුසුමක් හෙළුවා ය.
" එයා තව ම පොඩි ළමයෙක් විතරයි. "
එම මිනිසා ඇය ව සනසවන්නට මෙන් එක් අතක් ඇගේ උරහිසක් මතින් තැබුවේ ය. නමුත් දිව්‍යා ඒ වෙතට හෙලූ බැල්මෙන් ඔහු නැවත තම හස්තය ඉවතට ගත්තේ ය. දිව්‍යා මෙතරම් ආවේගයෙන් කතා කරනු මා දැක නැත. ඇය මෙලෙස කිසිවෙකුගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඇවැසි දෙය මිනිසෙකු ඝාතනය කර හෝ ලබා ගන්නවා හැරුණුකොට...