එම කාල වර්ණ දෙනෙත මා දෙස බලා සිටියේ පැය ගණනාවක සිට තම ගොදුරට මාන බලමින් සිටිනා කඳුකර දිවියෙකු මෙනි. එම දෑස අයත් ව තිබුණේ කෙල්ලෙකුටයි.
මම කළබලයට පත් වූ තරම කෙසේ ද යත් මම රෝල් වී හුන් පැදුර තුළින් එක් වර ම නැඟී සිටීමට උත්සහ කළෙමි. එයින් සිදු වූයේ මා එක්වර ම මෝඩයෙකු මෙන් ආපසු පොළව මතට ඇද වැටීමයි.
කට කොණකින් සිනහසුණ ඇය පැදුරේ කෙළවර පාගා ගෙන අනෙක් පාදයෙන් මා පෙරළා දැමුවා ය. මම ලැජ්ජාවේ උපරිමයට පත් ව කෙස් ගසේ සිට නියපොත්ත දක්වා ම රතු වී සිටියෙමි.
" තැන්ක් යූ... "
මම හැකි ඉක්මණින් ටවල් එක නිසි පරිදි හැඳ ගෙන කෙළින් සිට ගත්තෙමි.
" හොඳ වෙලාවට ටවල් එක ගැළවිලා තිබුණෙ නැත්තේ... "
මම යටි සිතෙන් ස්තූතිපූර්වක වෙමින් ඇය ව අධ්යනය කරන්නට වූයෙමි.
ඇය මට වඩා වසර කිහිපයකින් වැඩිමහළු බවක් ඉසිළීය. ඇය හැඬ සිටියේ පාසල් නිළ ඇඳුමක් බැවින් උසස් පපෙළ හදාරන ශිෂ්යාවක් විය හැකි යැයි මට සිතිණි. ඇගේ කාල වර්ණ හිසකෙස් කරල් දෙකකට ගොතා තිබූ බවක් දක්නට ලැබිණි. නමුත් එය තවදුරටත් කොණ්ඩ කරල් දෙකක් ලෙසින් නම් පෙනී ගියේ නැත. මන්ද යත් ඍජු කෙටි හිසකෙස් වූ ඒවා ලිස්සන සුළු වූ නිසාවෙන් බෙහෙවින් අවුල් වී තිබිණි.
ඇයට වූයේ තළෙළු සමක් වූවත් එය සුදුමැලි සම අව්වට පිළිස්සීම නිසා වූවක් බව දිස්විණි. නිළ ඇදුම මඩ තැවරී, පොඩි වී තිබූයේ පොරබැදීමක් සිදුකළ අයුරෙනි. කෙට්ටු ශරීරයක් තිබූ ඇය මට වඩා අඟල් කිහිපයක් උස් වීම නම් මාගේ සිත්ගත්තේ නැත.
" ඔයා කවු ද? "
මම ආරක්ෂාකාරී ලෙස පසුපසට වෙමින් ප්රහාරයකට සැරසුණෙමි.
" බය වෙන්න එපා... මම ඔයාට මොකුත් කරන්නෙ නෑ... "