Chapter 05

84 6 2
                                    

පෙර දින රාත්‍රියේ තද නින්දකට වැටී සිටි මම උදෑසන එක්වර ම අවදි වූයෙමි. ඒ වන විට යන්තමින් හිරු උදා වී තිබූ අතර හිරු රැස් කුටියේ වාතය ලැබීම සඳහා වූ කවුළු තුළින් අනවසරයෙන් ම කුටිය තුළට කඩා පනින්නට වූයේ ය.


අපහසුවෙන්, එහෙත් පෙර දිනට වඩා යම් ප්‍රබෝධයකින් අවදි වූ මම කුටියේ ඒ මේ අත යමින් එය පරීක්ෂා කරන්නට වූයෙමි. වාත කවුළුව බැගින් කුටියේ හා වැසිකිළියේ වූ නමුත් ඒ තුළින් රිංගා යාමට තරම් කුඩා වැඩි විය. ඇරත් එයට ළඟා වීමට නො හැකි තරම් උසින් පිහිටා තිබිණි. උළු සෙවිළි කළ වහල ද අබලන් තත්වයේ වූ අතර එහි සිවිලිමක් නො වීය.


එහි පැනයාම සඳහා කිසිදු ක්‍රමයක් නො වීය. එහි වූ එක ම ජනේලය ද පිටතින් ලෑලි පටි ගසා අවහිර කර තිබිණි. වහලයට නැඟීම ද තවකෙකුගේ සහයකින් තොර ව කළ නො හැකි දෙයක් වූයේ ය.


" අනේ දෙවියනේ... මාව බේරගන්න... "


මම සිතින් යදින්නට වූයෙමි. මේ වන විට අනිවාර්‍යයෙන් ම මාගේ මව හා වැඩිමහල් සොයුරා භීතියට පත් ව සිටිනු නියත ය. ඔවුහු කුමක් කරනු ඇත් ද....


පෙර දිනයේ මෙන් ම අද දිනත් උදෑසන ආහාරය සඳහා කෑම පාර්සලයක් ලැබිණි.


" මාව මෙතනට ගෙනල්ලා තමුන්ලා මොනව ද බලාපොරොත්තු වෙන්නේ??? "


මම කෝපයෙන් පෙර දින පැමිණි මිනිසාගෙන් විමසූවෙමි. ඔහු කුරිරු ලෙස මා වෙත සිනහසිණි.


" ඒක තමුන්ට වැඩක් නෑ... ඒත්... කමක් නැහැ... තමුන්ට ඕනි හේතුවනේ... අහගන්නවා! තමුන්ට මතක ද තමුන්ගෙ අයියා අපිට විරුද්ධ ව නඩුවක් දැම්මා, නීති විරෝධී විදිහට කුළුබදු ආනයනය කරනවා කියලා... මතක ද? ආ... අන්න ඒ නඩුව ඉල්ලා අස්කර ගන්නකම් අපි තමුන්ට යන්න දෙන්නෙ නෑ... ඒ වගේ ම තමුන්ගේ අයියා ඒකට එකඟ වුණේ නැත්නම් අපිට සිද්ධ වෙනවා තමුන් ව අවසන් ගමන් යවන්න... "

පැහැරගැනීම [ Black Tiger 1 ]Место, где живут истории. Откройте их для себя