" මොකක්! මාව බේරගන්න. "
මම මහ හඬින් සිනහසෙන්නට වූයෙමි.තවමත් පාසල් වයසේ පසුවන සිසුවියක් මා කෙසේ නම් බේරා ගන්න ද? ඇය මා සිනහ සී අවසන් වනතුරු කළකිරීමෙන් හිස සළමින් ඉවසා සිටියා ය.
" ඔයා වගේ කෙල්ලෙක් මාව බේර ගන්න! "
මම නැවතත් පැවසූවෙමි. ඇය එය ද නො සළකා හැරියා ය.
" දැන් ඔයාට තියන ප්රශ්නේ මම කෙල්ලෙක් කියන එක ද , නැත්නම් මට ඒකට ඒ තරම් සුදුසුකමක් නෑ කියන එක ද? "
ඇය රවාගත් මුහුණින් යුතුව කුරිරු බැල්මකින් මා වෙත දමා ගැසුවා ය. මම එයින් මදක් සන්සුන් වන්නට යත්ත දැරූයෙමි. ඇය විහිළු සඳහා එතරම් ගැළපෙන පුද්ගලයෙකු නො වන බව මට තේරුම් ගියේ ය.
" ඒ දෙක ම නෙවෙයි... මාව බේරගන්න ආවා නම් ඇයි ඔයත් මෙතන හිරවෙලා ඉන්නේ? "
මම උපහාසාත්මක සිනහවකින් ඇය වෙත සංග්රහ කරමින් සිනහසුණෙමි. ඇය දිගු කතාවකට මුල පුරන අටියෙන් පොළවෙහි අසුන් ගත්තා ය. ඇය අසළින් අසුන් ගන්නා මෙන් සන් කළ නිසාවෙන් මම ඇය අසළින් අසුන් ගත්තෙමි. මම ඇයට කීකරු වූයේ මන්දැයි මා හට ම සිතා ගත් හැකි නො වීය. ඇතැම් විට ඇය ව නැවතත් කෝප ගැන්වීමට ඇකමැති වූ නිසාවෙන් විය හැකිය. කෙසේ හෝ මා ඇය විශ්වාස කිරීමට සිතුවේ මා හට වෙනත් විකල්පයක් නො වූ නිසාවෙනි.
" මට කියන්න. මොකක්ද ඇත්ත! "
" හ්ම්... "
ඇය පළමුවෙන් ම හොඳ හුස්මක් ඉහළට ඇද ගත්තා ය.
" මෙහෙමයි... මම ආවේ ඔයාව බේරගන්න... මම ආවා කියනවාටත් වඩා එව්වා කියන එක වඩාත් නිවැරදියි. හරි... මම රහස් නියෝජිතයෙක්. රහස් පොලීසියේ උප ඒකකයක... මම ඉස්කෝලේ ළමයෙක් නෙමෙයි. වරදවා වටහා ගන්න එපා. පොලීසිය ඔයාගේ අතුරුදහන් වීම දැනුවත් වුණ වහාම මාව එව්වා ඔයාව බේර ගන්න. "